COLOMBO (NEWS1ST): 21 වන බ්‍රහස්පතින්දා සිසුන් 200 ට වඩා අඩු පාසල් විවෘත කරන බව රජය දැනටමත් නිවේදනය කර තිබේ.
මේ වනවිට ඔන්ලයින් අධ්‍යන කටයුතුවලින් ඉවත්වී වෘත්තීය සමිති අරගලයක නිරතවන ගුරු විදුහල්පති සංගම් එදින නැවත සේවයට වාර්තා කරයි ද?
සමස්ත ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද අවධාරණය කළේ, රජය නියම කරන දිනයේ සේවයට වාර්තා කිරීමට සූදානම් නොමැති බවයි.
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසන්නේ, රජය විසින් කැඳවන ලද දිනක 21 ,22 පාසල්වල දෙසියට අඩු පාසල්වල ගුරු සහ විදුහල්පතිවරුන් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බවයි.
එහි සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් පැවසූවේ, කෙසේ වෙතත් රටේ දරුවන්ගේ අනාගතය පෑදීම සඳහා විදුහල්පතිවරුන්ට සහ ගුරු භවතුන්ට 25 වනදා පාසලට වාර්තා කර කරන ලෙස ආරාධනා කරන බවයි.
''අපි පාසල් අරින්නේ අපි පාසල් අරිනවා අපි පාසලට එනවා. ඇවිල්ලා අපි සක්‍රීයව වැඩකරනවා. හැබැයි එතනින් නවතින්නේ නෑ.අපේ පළවෙනි පියවර අමාත්‍ය අනුකමිටුව විසින් නිර්දේශ කරන ලද වැටුප් පියවරයන් එක පියවරක් හැටියට එක විට ගෙවන්න ඒ වගේම දීර්ඝ සාකච්ඡාවකින් හදන ලද ව්‍යවස්ථාවක් අනුව දිපව්‍යාප්ත සේවාවන්ගෙන් මේ දවස්වල ජනප්‍රිය සුබෝධනී වාර්තාව ක්‍රියාත්මක කරන්න''
ලංකා ගුරු සංගමය පවසන්නේ, මේවනවිට පොලීසිය යොදා ගනිමින් විවිධ ක්‍රියාකාරකම් හරහා ආණ්ඩුව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බිය ගැන්වීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවයි.
''අපි කියනවා උඹලගේ අභියෝග බාරගෙන අපි 21 වෙනිදා වැඩ වර්ජනය කරනවා කරනවා මයි කියලා අපි බය නෑ. උඹලට යතුරු ඉල්ලා බලපෑම් කරනවා. යතුරු දෙන්නේ කොහොමද ඔය යන්නේ හොරු නොවැම්බර් 12 අයවැයට පෙර අපි විවිධ ක්‍රියාමාර්ග සංවිධානය කරනවා. පාසල් යමින් ඒ කටයුතු කරන්නේ එකම එක හේතුවයි. දරුවන්ට උගන්වන්න ඕන නිසා''
- ප්‍රධාන ලේකම්, ජෝසප් ස්ටාර්ලින් -
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද මාධ්‍ය හමුවේදී ආණ්ඩුවට මෙලෙස අභියෝගයක් කළේ ය.
''අපේ තීරණයද උඹලගේ නියෝගයද ? උඹලගේ තුවක්කුවද අපේ වචනද වැඩි බර කියලා අපි 21 වෙනිදාට බලමු පුළුවන් නම් ඔන්න අභියෝගය පාසල් ටික විවෘත කරලා පෙන්වන්න.එක ගුරුවරයෙක්ගේ නියපොත්තක සීරීමක් කරලා බලන්න අපි අබියෝග කරනවා කුට්ටිට විතරක් නෙවෙයි ඔය ඕන කෙනෙකුට''
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසන්නේ, සිය සංගමය ලබන 21 වනදා සේවයට වාර්තා කරන බවයි.
එහි සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවසුවේ, පාසල් ඉබි යතුරුවල අවසන් අයිතිය අධ්‍යාපන අමාත්‍යංශය සතු බවයි.
''ජෝසෆ් මහින්ද ජයසිංහ කැලෑ අධ්‍යාපන අමාත්‍යංශය ගන්න තින්දු නම් මම දන්නේ නැහැ. අපේ අධ්‍යාපන අමාත්‍යංශය නම් 21 පාසල් පටන් ගන්නවා. ඒ සඳහා ගුරුවරු සුදානම් බලහත්කරයෙන් වහගෙන ඉන්නත් බෑනේ අධ්‍යාපන අමාත්‍යංශයනේ ඔය ඉබි යතුරුවල අයිතිකාරයා අන්තිමට මේ ආණ්ඩුව අධ්‍යාපන අමාත්‍යංශය''
මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතව අවධාරණය කළේ, තමන් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.
එහි කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේ, අනෙකුත් කණ්ඩායම් මෙල්ල කරන්නා සේ ගුරුවරු විදුහල්පතිවරු මෙල්ල කළ හැකි කණ්ඩායමක් නොවන බවයි.
''ඒ නිසා අපි වැටුප් විෂමතාවට එරෙහි ගුරු විදුහල්පති එකමුතුව හැටියට මේ මොහොතේදී 21 වෙනිදා සිට වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර සිටිනවා. අපි නියමානූකූල වැඩ වර්ජනය ආරම්භකරන්නේ 21 වෙනිදා සිට ආණ්ඩුව අපට විසඳුම් ලබාදෙන තුරු අපි පැහැදිලිව කියා සිටිනවා. පාසල් ආරම්භකරන්න කිසිසේත්ම අවකාශය ඉඩ ලබාදෙන්නේ නැහැ . අපි දැක්කා ඊයේ දවස වෙනකොට ආණ්ඩුව තමන්ගේ ගෝල බාල හෙංචයියෝ මැරයෝ පාසල්වලට දාලා පාසල් සුද්ද කරන්න දාලා බලහත්කාරයෙන් පාසල් සුද්ද කරන්නට උත්සහා කරමින් ඉන්නවා. අපි කියනවා ආණ්ඩුවට පුළුවන් නම් විවෘත කරලා පෙන්වන්න අපි සුදානම් ඔය මර්දනයට ශක්තිමත්වම මුහුණ දෙන්න''
මේ අතර විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය ඇතුළු ගුරු විදුහල්පති වෘත්තිය සමිති කිහිපයක් අද අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශ කළේ, තමන් තවමත් වැඩවර්ජනය අත්හැරීමට සුදානම් නොමැති බවයි
විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය සභාපති නිමල් මුදුන්කොටුව මහතා පැවසුවේ, 21 වනදා හෝ 25 වනදා පාසල්වලට වාර්තා කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තවමත් ස්ථීර තීරණයක් ගෙන නොමැති බවයි.
''21 වෙනිදා පාසල් එනවා කියන තීරණයක අපි නැහැ. 25 එනවා කියලා තීරණයකත් අපි නැහැ. ආණ්ඩුවෙන් කිසිදු සහනදායි පිළිතුරක් නොමැතිව එකපාරමම මේ තීරණය වෙනස් වුණේ කොහොමද මේක වෘත්තිය සමිති න්‍යායට සම්පුර්ණයෙන්ම පටහැනියි''