#SeaOfSriLank : ශ්‍රී ලංකා මුහුද රැක ගන්න සිය ගණනක් ධීවරයින් මහ මුහුදේ විරෝධතාවක

by Sagarika Chathumali 17-10-2021 | 11:40 AM

COLOMBO (NEWS1ST):  ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදට අනවසරයෙන් ඇතුළුවීමට විරෝධය පළ කරමින් මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා මුහුදේ ධීවර විරෝධතාවක් ආරම්භ කර තිබේ.

අද (17) උදෑසන ආරම්භ වූ මෙම විරෝධතාවට උතුරු - නැගෙනහිර සිය ගණනක් ධීවරයින් එක්ව සිටින අතර ඔවුන් සිය යාත්‍රාවල කළු කොඩි ඔසවමින් විරෝධය දක්වන අයුරු දැකගත හැකි ය. ධීවරයින් චෝදනා කරන්නේ, ශ්‍රී ලංකා මුහුදට නීතිවිරෝධීව ඇතුළු වන ඉන්දීය ධීවරයින් දැල් මුහුදේ පතුලට ම දමා ඇදගෙන යන 'බොටම් ට්‍රෝලිං' ක්‍රමවේදය අනුගමනය කරමින් මෙරට මුහුදේ සාගර සම්පත මුළුමනින්ම සුරා ගන්නා බවයි. මෙම විරෝධතාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටින අතර මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසන්නේ මෙය ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවගේ ජීවිත රැකදීමට දීමට දරන උත්සාහයක් බවයි.

බොටම් ට්‍රෝලිං ක්‍රමයට තිත තැබීමේ පනත් කෙටුම්පතක්

2015 වසරේ අප්‍රේල් මාසයේදී සුමන්දිරන් මන්ත්‍රීවරයා ඉන්දීය ධීවරයින් නීතිවිරෝධීව මෙරටට මුහුදට ඇතුළු වී දැල් මුහුදේ පතුලට ම දමා ඇදගෙන යන 'බොටම් ට්‍රෝලිං' ක්‍රමවේදය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කළ මෙමගින් ඉල්ලා තිබුණේ, 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කරන ලෙසයි. පනත් කෙටුම්පත හරහ ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ යාත්‍රා කිරීම තහනම් කිරීම , ට්‍රෝලිං මෙහෙයුම් සඳහා බලපත්‍ර ලබා දීම තහනම් කිරීම, ට්‍රෝලිං ක්‍රමය භාවිතය තහනම් කිරීම සහ යාත්‍රා මෙහෙයුම් සඳහා ට්‍රෝලිං දැල් ළඟ තබා ගැනීම, ආනයනය කිරීම, ප්‍රවාහනය, මිලදී ගැනීම සහ විකිණීම තහනම් කිරීම ආදිය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබිණ. තව ද මෙම විධිවිධානයන් උල්ලංඝණය කරමින් ට්‍රෝලිං මෙහෙයුම්වල යෙදෙන පුද්ගලයින්ට එරෙහිව ගත යුතු පියවර පිළිබඳව ද 2015 වසරේ ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතේ සඳහන්ව ඇත. මේ අතර පනත් කෙටුම්පත ඉදිරිපත් කළ එම කාලවකවානුව තුළ අත්අඩංගුවට ගෙන සිරගත කරනු ඇතැයි, යන බියෙන් ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදට ඇතුළු නොවූ බවට ද වාර්තා විය. කෙසේ වෙතත්, මේ වන විට ඉන්දියානු බොටම් ට්‍රෝලර් යාත්‍රා නීතිවිරෝධීව ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වී ශ්‍රී ලංකා මුහුදේ මසුන් අල්ලමින් සිටී.   https://www.youtube.com/watch?v=AVRv9jEkWj4