'අපි ලෑස්තියි. හැබැයි ගැටලුව විසඳනවා නම් විතරයි'

''අපි ලෑස්තියි.. හැබැයි ගැටලුව විසඳනවා නම් විතරයි..'' - ලංකා ගුරු සංගමය

by Staff Writer . 17-10-2021 | 10:21 PM

COLOMBO (NEWS1ST): මේ දිනවල විදුහල්පතිවරුන්ට තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලැබෙමින් පවතින බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසන්නේ, ගැටලුව විසඳන්නේ නම් පමණක් 21 වනදා පාසල් ආරම්භ කිරීමට ගුරුවරුන් සූදානම් බව බවයි.
''මේ වෙනකොට පාසල්වල විදුහල්පතිවරුන් ගෙන් යතුරු ගන්න,පොලිසිවලින් කතා කරනවා. මොකක්ද මේ විහිළුව කවුරුවත් කාටවත් යතුරු භාර දෙන්නෙ නැහැ.පළාත් භාර අධ්‍යක්ෂවරයාගෙන් ලිඛිත නියෝගයක් එන්න ඕනේ ඒ පාසලේ සියලු වගකීම,ඒ අතර භාරගන්න නිලධාරියා බාර ගන්න ඕනේ. පාසල් පටන් ගන්න 21 වෙනිදා ගුරුවරු වන අපි අපි ලෑස්තියි හැබැයි ගැටලුව විසඳනවා නම් විතරයි''
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ, ගුරුවරුන්ට තර්ජනාත්මක ඇමතුම් දී ගුරු සටන අඩපණ කිරීමට උත්සාහ දරන්නේ නම්, එය නිෂ්ඵල ක්‍රියාවක් බවයි. බුද්ධි අංශයේ යැයි කියමින් බණ්ඩාරගම කොට්ඨාස ගුරුවරුන්ට ලබාදී ඇති බව කියන දුරකතන ඇමතුම් කිහිපයක් පිළිබඳව ද ජයසිංහ මහතා කරුණු හෙළි කළේ ය.
''ගුරුවරයාගේ ඔලුවට පිස්තෝලයේ තියලා තුවක්කුව තියලා දරුවන්ට බලෙන් උගන්වන්න හදනවනං මහත්වරුනේ ඒක කරන්න බැහැ. ඔයිට වඩා වෙඩි සද්ද අපිට ඇහිලා තියෙනවා. ,ඔය පුස් වෙඩිවලින් නම් මේ සටන නතර කරන්න  බැහැ. 21 අපි බලමු මොකද වෙන්නේ කියලා. සරත් වීරසේකර මහත්තයෝ මං දෙනවා දැන් දුරකථන ඇමතුම් තුනක් . බණ්ඩාරගම කොට්ඨාස ගුරුවරුන්ට දීපු බුද්ධි අංශය කියලා දීපු ඇමතුම්.මොනවද කියලා තියෙන්නෙ 21 එන්න ඕන ඉස්කෝලෙට,ආවෙ නැත්නම් උස්සනවා . 071 244 7993, 0705464412, 0774845050 ...පුළුවන්නම් හොයන්න මේ දුරකථන අංක කාගේද ,මොනවද ඇත්ත බුද්ධි අංශය ද මේ වගේ සෙල්ලම් වලින් අපේ සටන අඩපණ කරන්න බැහැ''