රටම අපකීර්තියට පත් කළ ගුවන් තොටුපළ පරිපාලනය?

සුළු ගෙවීමකට ගුවන් යානයක් පමා කොට රටම අපකීර්තියට පත් කළ ගුවන් තොටුපළ පරිපාලනය

by Staff Writer . 16-10-2021 | 8:16 PM
COLOMBO (NEWS1ST):  යුරෝපීය මගීන් 226 ක් රැගත් ගුවන් යානයක් පැය ගණන් අනවශ්‍ය ප්‍රමාදයකට ලක්කොට ගෙවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කිරීමෙන් රට ජාත්‍යන්තරයේ අප්‍රසාදයට ලක්වන ආකාරයෙන් කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් ක්‍රියා කොට ඇති බව වාර්තා වේ. මේ සිද්ධිය වාර්තා වන්නේ සැප්තැම්බර් 26 වැනිදායි. කොන්ඩෝ එයාර් ගුවන් සේවය අයත් බෝයින් 767 වර්ගයේ ගුවන් යානයක් ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් සිට මාලදිවයින බලා පියාසර කරමින් තිබිණ. අයහපත් කාලගුණ තත්ත්වය මත යානය හදිසියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බස්වා තිබුණේ මගීන් 226 දෙනෙකු ද සමගයි. එදින පෙරවරු 11.26 ට පමණ මෙරටට ගොඩබැස්ස වූ යානයට පැය කිහිපයක් මෙරට තුළ රැඳී සිට ඇති අතර හදිසි ගොඩබැස්වීමේ ගාස්තු ගෙවීමට යාමේදී ක්‍රෙඩිට් කාඩ් යන්ත්‍ර ක්‍රියාත්මක නොවීමෙන් එම ගුවන් යානයේ නියමුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සිදුවීම මෙලස පැහැදිලි කළේ ය.
''ඇත්තටම වුණේ, මෙම ගුවන් නියමුවන් දෙන්නා විසින් ගුවන් තොටුපළ වෙත කිසියම් ඉන්වොයිස් එකක් සෙට්ල් කිරීමට අවශ්‍යව තිබුණා. එම ඉන්වොයිස් එක සෙට්ල් කරන්න එම ගුවන් නියමුවන් තෝරාගෙන තිබුණේ, ඔවුන්ගේ ක්‍රඩිට් කාඩ්පත . මොකද ඔවුන් කියලා තිබුණා ඔවුන්ගේ අතැතිව යු US ඩොලර්ස් නැහැ කියලා. මෙම US ඩොලර් 740 ඔවුන් ක්‍රෙඩිට් කාඩ්පතක් අරගෙන ඇවිල්ලා අපේ ඩියුටි මැනේජර් ඔෆිස් එක හා එතනදී ඔවුන් ඒක ට්‍රයි කරලා තිබ්බා. මෙතනදි ගුවන් නියමුවන් දෙදෙනාගේම කාඩ් පත් 2 වැඩ කරලා තිබ්බේ නෑ''
පසුව අදාළ ගුවන් නියමුවරිය සහ ගුවන් නියමුවා කටුනායක ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට අයත් තවත් ස්ථාන 2 කට ද යොමු කර තිබුණේ කාඩ් පත් ක්‍රියාත්මක නොවීම හේතුවෙනි. ඒ වනවිටත් ඔවුන් ගුවන් සේවා සමාගමට අමෙරිකානු ඩොලර් 740 ක මුදලක් ගෙවීමට නියමිතව තිබිණ. ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා පැවසුවේ, ගුවන් නියමුවන් දෙදෙනාගේ ක්‍රෙඩිට් කාඩ් 2 න් ගෙවීම් කළ නොහැකි බව දැනුවත් වී තිබුණේ, විනාඩි 45 කට පසුව බවයි.
''විනාඩි 45 කට පස්සේ තමයි ගුවන් නියමුවන් තේරුම් අරන් තිබ්බේ ඒගොල්ලන්ගේ ක්‍රෙඩිට් කාඩ් 2 ජාත්‍යන්තර පේමන්ට් එකක් කිරීමට ඇක්ටිවේට් කරලා නැහැ කියලා. එවෙලෙදි තමයි ඒගොල්ලන් ඒගොල්ලන්ගේ බැංකුවට කථා කරලා මෙම කාඩ් පත් 2 ඇක්ටිවේට් කරගත්තේ''
ගෙවීම් කිරීමෙන් පසු ඔවුන් යානය වෙත ගමන් කර තිබුණේ එදින පස්වරු 2.10 ට පමණයි. ඒ වනවිටත් ඔවුන් දිවයිනෙන් පිටත්ව යාමට ඉතිරිව තිබුණේ විනාඩි 15 කට ආසන්න කාලයකි. ගුවන් කාර්ය මණ්ඩලයේ සේවා මුරය අවසන් වී විවේක ගැන්වීමේ කාල සීමාව ද එළැඹෙන බැවින් වෙනත් ආසන්න රටකින් කාර්ය මණ්ඩලය ගෙන්වා ගෙන ගුවන් යානය පිටත් කර හැරීමට සිදුව තිබිණ. ඒ වනවිටත් සිදුවන්නේ කුමක්දැයි නොදැන දරුවන් , කාන්තාවන් ඇතුළු ගුවන් මගීන්ට ගුවන් තොටුපළේ රැඳී සිටීමට සිදුව ඇත. ඒ වනවිටත් තවත් අමතර වේලාවක් මෙරට ගුවන් තොටුපළේ රැඳී සිටීම හේතුවෙන් ගුවන්තොටුපළට ඩොලර් 74 ක තවත් අමතරව මුදලක් ද ගෙවීමට මෙම ගුවන් නියමුවන්ට සිදුව ඇතැයි පැවසෙයි.
''මෙම ගුවන් නියමුවන්ගේ ක්‍රෙඩ්පත් කාඩ් 2 විනාඩි 45 ක් වැඩ නොකිරීම හේතුවෙන් තමයි මේ ප්‍රශ්නය පැන නැගුනේ. ඉතින් ගුවන් තොටුපළක් විදියට අපි ඒ ප්‍රශ්නය භාර ගන්නේ කොහොමද? කියන එකත් ප්‍රශ්නයක්'' -ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ -
මෙරටදී මුහුණ දුන් සිද්ධිය ගැන කොන්ඩෝ එයාර් ගුවන් සේවය මෙරටින් විමසීමක් කළා දැයි, නිව්ස් ෆස්ට් මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගෙන් විමසා සිටියේ ය. ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, ගුවන් සේවා සමාගම මේ වනතෙක් ඒ පිළිබඳ විමසීමක් සිදු කර නොමැති බවයි.
''ගුවන් සේවා සමාගම අද වෙනකන් ඒ ගැන විමසුමක් කරලා නෑ. ගුවන් සේවා සමාගම මං හිතන්නේ ඔවුනුත් දන්නවා වෙන්න ඕනේ. ඔවුන්ගේ පැත්තෙන් අතපසුවීමක් තියෙන බව එම නිසා කිසිම විමසුමක් කරලා නෑ. හැබැයි අපි ශ්‍රී ලංකා ගුවන් තොටුපළ විදියට මෙම ගුවන් සේවා සමාගමට කථා කරන්න , ලිපියක් ලියලා ඔවුන්ට මේ සඳහා තේරුම් කරලා දෙන්න අපි බලාපොරොත්තු වනවා''
මේ අතර අත්දැකීම් සහිත ප්‍රධාන පෙළේ සංචාරක මෙහෙයුම් ක්‍රියාකරුවෙකු වන ආචාර්ය අරුණ අබේගුණවර්ධන මහතා පවසන්නේ, ලොව පිළිගත් ගුවන් සේවයක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී මුහුණ දුන් බව පැවසෙන සිද්ධිය සුළු කොට සැලකිය නොහැකි බවයි. තව ද මෙම ගැටලුවට මුහුණ දුන් කණ්ඩායමෙන්, මගීන්ගෙන් ජර්මන් රජයෙන් මෙරට නිලධාරීන් සමාව ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් මෙමගින් විශාල කළු පැල්ලමක් ඇති වන බවයි.
''මං හිතනවා අවුරුදු 35 ක් 40 ක් තියෙන සෑම වයසක පුද්ගලයෙකුටම කොන්ඩෝ කියන නම ඇහුවාම තේරෙනවා මොකද්ද මේ කොන්ඩෝ කියන්නේ කියන එක. ඒ ගුවන් යානයෙන් මං හිතන්නේ ලංකාවට මිලියන ගාණක් කොන්ඩෝ කියන සමාගමෙන් අපිට ලංකාවට සංචාරකයෝ ගෙනාවා. ලංකාවේ දරුණු යුද්ධයක් තියෙන වෙලාවෙත් සංචාරකයෝ ආවා. මං හිතනවා අපි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වෙලා අපි ජර්මන් රජයෙන් ලුප්තැන්සා ආයතනයෙන් ඒ ප්‍රශ්නයට මුහුණ පාපු ඒ කෘෘ එකෙන් ඒකේ හිටපු පැසෙන්ජර්ස්ලාගෙන් අපි සමාව ගත යුතුයි. අනිවාර්යෙන්ම නැත්තම් අපිට මහා ලොකු කළු පැල්ලමක් ඇතිවෙනවා''
කොරෝනා වසංගතය නිසා සංචාරක කර්මාන්තය පවා අඩාල වී ඇති මොහොතක මෙලෙස ගුවන් මගීන් රස්තියාදු කරවීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකෙරෙනවාද? ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගෙන් අප කළ විමසීමදී ඔහු පැවසුවේ මෙම සිදුවීම සිදුවු බව පැවසෙන දිනයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට තාවකාලිකව සේවයෙන් ඉවත් සිටින ලෙස දන්වා ඇති බවයි. මීට අමතරව රාජ්‍ය අමාත්‍ය ඩී.වී .චානක මහතාද අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට වාර්තාවක් කැඳවා තිබේ. ඔහු පැවසුවේ ලබන සඳුදා එම වාර්තාව තමන්ට ලැබීමට නියමිත බවයි.