රට පුරා පොහොර ඉල්ලා අද (16)ත් විරෝධතා...(VIDEO)

by Staff Writer . 16-10-2021 | 9:06 PM

COLOMBO (NEWS1ST):  දිවයිනේ බොහෝ ගොවි බිම්වල අදත් අසන්නට ලැබුණේ පොහොර නැතිව ගොවි ජන මැසිවිලි ය.

ගොවීන් පවසන්නේ, පොහොර ගෙන් වූ බවට තොරතුරු ප්‍රචාරය වුවද ගමට පොහොර ඒමේ හොරයක් ඇති බවයි. මාදුරුඔය මිටියාවතේ ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය අද වැලිකන්ද දිඹුලානේදී උද්ඝෝෂණයක නිරත විය. ගොවීහු විරෝධතා පා ගමනකින් දිඹුලාන ගම්මානයේ සිට වැලිකන්ද දිඹුලාන මංසන්ධිය දක්වා පැමිණියහ. සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද බදුල්ල රිදීමාලියද්ද කෙසෙල්පොළදී පැවැති අතර තවත් ගොවි උද්ඝෝෂණයක් පැවැත්වුණේ, බදුල්ල රිදීමාලියද්ද ගල්බොක්ක ප්‍රදේශයේදී ය. ගාල්ල අක්මීමන බැද්දේගෙදර ප්‍රදේශයේ තේ වගා ගොවීන්ද අද උද්ඝෝෂණයෙහි නිරත වූයේ තේ වගාවන්ට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉල්ලමිනි. සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද අකුරැස්ස දංහැල දී පැවැත් විය. මින්නේරිය ව්‍යාපාර ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධාන ද අද මාධ්‍ය හමුවක් කැඳවමින් ගොවීන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් පැහැදිලි කළේ ය. මේ අතර පසුගියදා අම්පාර ලක් පොහොර ගබඩාවට ලැබුණු පොහොර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද ඒකාබද්ධ ගොවි සංවිධානය අද එහි පැමිණියේ ය. ගොවීන් ප්‍රකාශ කළේ, ගොයමට පළමුව යොදන මඩ පොහොර වෙනුවට දින 45 න් යෙදිය යුතු බණ්ඩි පොහොර ගබඩාවට ලැබී තිබීම පුදුමයට කරුණක් බවයි. මේ අතර පොහොර ගැටලුව විසඳීම පිණිස නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් මිලියන දෙකක් ඉන්දියාවෙන් ආනයනය කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය තිරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සමාගමකින් ආනයනය කෙරෙන මෙම නැනෝ නයිට්‍රිජන් දියර පෙහොර ලොව ඉහළම තාක්ෂණයෙන් යුත් ශාක පෝෂකයක් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා පැවසී ය. එහි පළමු තොගය ශ්‍රී ලංකාවට ගුවනින් ගෙන එනු ලබන්නේ ලබන අඟහරුවාදායි.