ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට ජනපති කළ දැනුම්දීම

නිව් ෆෝට්‍රෙස් ගිවිසුම: හවුල්කාර පක්ෂවලට ජනපති කළ දැනුම්දීම

by Staff Writer . 16-10-2021 | 10:11 AM

COLOMBO (NEWS1ST):  යුගදනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ලබාදීමට එළැඹි ගිවිසුම පිළිබඳව ආග්‍රාමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන්නැයි, ජනාධිපතිවරයා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11 ක නායකයින් තමන්ට වේලාවක් ලබා දෙන්නැයි, යොමු කර තිබූ ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමිනි. නිවුස් ෆස්ට් කළ විමසීමකදී අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පැවසුවේ, පක්ෂ නායකයින් වෙත ජනාධිපතිවරයා සිය ප්‍රතිචාරය පිළිතුරු ලිපියක් මගින් දැනුම් දුන් බවයි. මේ අතර ජනාධිපතිවරයා යොමු කර ඇති ලිපිය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයින් අද දිනයේ හමුවීමට නියමිත ය. යුගදනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට ලබාදීමට එළැඹි ගිවිසුමට විරෝධය පළ කළ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 පසුගිය සැප්තැම්බර් 23 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ අතර ඉන් පසුව එම පක්ෂ නායකයින් මාධ්‍යට පැවසුවේ ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි. අගමැතිවරයා සමග කළ එම සාකච්ඡාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා සමසමාජ පක්ෂය ජාතික නිදහස් පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ 11 නියෝජතවරු සහභාගී වී සිටියහ.