ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන්න.. හිටපු ජනපති ආණ්ඩුවෙන් ඉල්ලයි

by Staff Writer . 16-10-2021 | 10:44 PM

COLOMBO (NEWS1ST):  පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (16) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, මධ්‍යම කාරක සභාව රැස්වී ඉදිරි ජයග්‍රහණ සඳහා පක්ෂයේ සියලු අංශ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කළ බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් සභා මැතිවරණය සඳහා තරග කරන්නේ, තනිවම ද එසේත් නොමැති නම්, සන්ධානයක් ලෙස ද යන්න සම්බන්ධයෙන් තවමත් සාකාච්ඡා කර නොමැති බව හිටපු ජනාධිපතිවරයා පැවසී ය. ජනතා ප්‍රශ්න හමුවේ රජයක්  ලෙස ඉදිරියට යා හැකි දැයි මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අතර ඔහු ඒ සඳහා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
''මේ තියෙන තත්ත්වයන් අපි ඔක්කොටම විවේචනය කරන්න නම් පුළුවන්. විවේචනය වගේම ඒකට දෙන උත්තරෙත් අපි ගාව තියෙන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඒ කටයුතු ගැන යනවා. නම් උත්තරෙත් හදාගෙන තමා යන්නේ''