ව්‍යාපෘති ඉදිරි මාස දෙක තුළ අවසන් කරන්න - අගමැති

මුදල් වෙන් වූ ව්‍යාපෘති වසර අවසන් වීමට පෙර නිම කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

by Staff Writer . 15-10-2021 | 8:58 PM

COLOMBO (NEWS1ST): සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් භාණ්ඩාගාරයට යළි නොඑවා සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස දෙක තුළ අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) නාගරික සංවර්ධන අධිකාරියට හා නිවාස සංවර්ධන අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබේ.

මේ යටතේ නිවාස ව්‍යාපෘති සහ මංතීරු ඉදි කිරීමට නියමිතයි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා ප්‍රකාශ කරේ 2024 වන විට නිවාස හැට දහසක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි. ඉන් 40,000 ක් ඉදි කෙරෙන්නේ අඩු ආදායම්ලාභි වෙනුවෙනි. කොළඹට පමණක් සීමා නොවී ග්‍රාමීය ප්‍රදේශවලට ද නිවාස ව්‍යාපෘති ලබා දෙන ලෙසට අගමැතිවරයා උපදෙස් දී තිබේ. කොළඹින් බැහැරව ද නිවාස 2000 ක් ඉදි කිරීමට නියමිතයි. දිවයින පුරා ඉදි කෙරෙන මංතීරු ආශ්‍රිතව ග්‍රාමීය නිෂ්පාදන අලෙවි සැල් ඉදි කිරීමට ද සැලසුම් කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පැවසී ය.