කෙරවලපිටියේ කොටස් මිලදී ගත්තේ ණයකාර සමාගමක්ද?

by Staff Writer . 15-10-2021 | 5:54 PM

COLOMBO (NEWS1ST) :  කෙරවලපිටියේ විදුලි බලාගාරයේ කොටස් මිලදී ගත් සමාගම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අද (15) අනාවරණයක් සිදු කළේ ය.

අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස මහතා පැවසුවේ, ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙලෙස කොටස් මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ඇති සමාගම 2021 මාර්තු වනවිට ඩොලර් මිලියන 1,240 ක ණය ප්‍රමාණයක් සහිත සහ ලොව LNG සැපයුම් සිදු කරන සමාගම් 250 අතර හෝ නොමැති සමාගමක් බවයි. තව ද 2018 වසරේ දී මෙම සමාගම කැරිබියන් දූපත්වල මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බවත් අද වනවිට එම රාජ්‍ය අර්බූදයට ගොස් සමාගමට එරෙහිව නඩු ගොනු කිරීමක් පවා සිදු කර ඇති බවත් එම මාධ්‍ය හමුවේදී අනාවරණය විය. තව ද බලශක්ති සැපයීමේ ඒකාධිකාරය අමෙරිකාව අතට පත්වූ විට මෙරටට විදුලිය සපයනවද නැද්ද යන කරුණ මත ඔවුන්ට රට පාලනය කිරීමට හැකියාව ඇති බව ත් මේ හරහා තමන්ගේම නෞකාවක් කොළඹ වරාය ආසන්නයේ ස්ථාවරව නතර කර තැබීමට අමෙරිකාවට අවස්ථාව හිමි වන බව ත් නලින් ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.