මල්වාන නිවසේ නඩුව...

මල්වාන නිවසේ නඩුව: සාක්ෂිකරුවෙක් දුන් ප්‍රකාශ අසත්‍ය බව පිළිගනී

by Staff Writer . 14-10-2021 | 11:02 PM

COLOMBO (NEWS1ST) :  මල්වාන මාපිටිගම අක්කර 16 ක ඉඩමක නාන තටාකයක් සහිත නිවසක් ඉදිකොට සත්ත්ව ගොවිපොළක් පවත්වාගන යාමට රජය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවට අදාළ නඩුව අද විභාගයට ගැනිණ.

මුදල් විශුද්ධිකරණ පනත යටත් නීතිපතිවරයා විසින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට අධිචෝදනා තුනක් යටතේ ගොනු කළ නඩුව විභාගයට ගැනුණේ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේයි. අද හරස් ප්‍රශ්න විමසනු ලැබූයේ වරලත් ගෘහ නිර්මාණ ශිල්පි මුදිත උපාලි ජයකොඩි මහතාගෙනි. තමන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබා දුන් ප්‍රකාශ අසත්‍ය බව සාක්ෂිකරු අද පිළිගත්තේ ය. එමෙන්ම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් තම කාර්යාලය හා නිවසක් පරීක්ෂා කොට ලිපි ලේඛන රැසකට අත්සන් ලබා ගත් බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළේ ය. නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති ලේඛනවල අත්සන් තමාගේ අත්සන් වීමටත් තමන්ගේ අත්සන් නොවීමටත් ඉඩ ඇති බවට සාක්ෂිකරු සැක පළ කළේ ය. වැඩිදුර නඩු විභාගය පැවැත්වෙන්නේ නොවැම්බර් පළමු වැනිදායි.