කලාපයේ යුද්ධයක් ගැන ඉන්දීය මන්ත්‍රී සුබ්‍රමනියන් කළ ඉඟිය

by Staff Writer . 14-10-2021 | 8:33 PM

COLOMBO (NEWS1ST) : ඉන්දියාව සහ චීනය අතර යුද්ධයක් ඇතිවීමට ඇති සම්භාවිතාව චීනය තායිවානය සමග යුද්ධයක් ඇති වීමට ඇති සම්භාවිතාවට වඩා වැඩි බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු සහ ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි මහතා පවසයි.

''අපිට දැන් චීනයත් සමග යුද්ධයකට ආසන්න ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. එම යුද්ධය ඇතිවීමට ඇති සම්භාවිතාව තායිවානය සමග ඇතිවීමට ඇති යුද්ධයට වඩා වැඩියි. මේ තත්ත්වය නිසා දේවල් වෙනස් විම් සිදුවෙයි. ඔබගේ අලුත් ආණ්ඩුව ආවට පස්සේ ඉන්දියාවෙන් ලංකාවට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඊට අදාල නිවැරදි කිරීමට සිදුවෙමින් පවතිනවා. දැන් මම බලාපොරොත්තුවෙනවා ඒ නිවැරදි කිරීම් සමග උපරිමයටම යයි කියලා''
දිවයිනට පැමිණ සිටින මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි මහතා මේ බව පැවසුවේ, ඊයේ පස්වරුවේ ආරක්ෂක අමාත්‍යංශයේ පැවති 21 වන සියවසේ ජාතික ආරක්ෂාව සමුළුවට එක්වෙමිනි. තව ද ස්වාමි මහතා සමුළුව අමතමින් කියා සිටියේ, කොපමණ විශාල හමුදාවන් රටවල් සතු වුවද, ප්‍රමාණාත්මක ලෙස රටවල් ලොකු කුඩා ලෙස වර්ගීකරණය කළ ද සයිබර් යුද්ධයකදී ඒවායින් කිසිදු ඵලක් නොමැති බවයි.
''පළමු කාරණව තමයි අපි ජාතික ආරක්ෂාව ගැන කතා කරද්දී , ජාතික ආරක්ෂක ව්‍යූහයන් තුළ ඉදිරියේදී ලොකු රටවල් , කුඩා රටවල් කියලා දෙයක් නෑ. මෙකද යුද්ධයන් පටන් ගද්දී බෙහෝ රටවල් පළමුව භූමියේ යුද්ධයන් සිදු කළා. පසුව ගුවන් යානා භාවිත කළා. දැන් අලුත්ම යුද්ධය තමයි සයිබර් යුද්ධය. ඉතින් සයිබර් යුද්ධයකදී ලොකු රටවල් කුඩා රටවල් කියලා දෙයක් නෑ. දැන් කොපමණ විශාල හමුදාවන් රටවල් සතු වුණත් එම හමුදාවාන්වලින් කිසිදු ඵලක් නැති වී තිබෙනවා. චීනය ,රුසියාව සමග සන්සන්ධනය කරද්දී ශ්‍රී ලංකාව කුඩා රටක් වෙන්න පුළුවන්. නමුත් රටක් විදිහට සයිබර් තාක්ෂණයෙන් දියුණු වුණොත් ඔබත් ඔවුන් හා සමාන වෙනවා''
මෙම සමුළුව සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා ද එක්ව සිටියේ ය.