නඩු දෙකෙන් ම රිෂාඩ් බදියුදීන්ට ඇප ලැබෙයි

නඩු දෙකෙන් ම රිෂාඩ් බදියුදීන්ට ඇප ලැබෙයි

කර්තෘ Staff Writer .

14 Oct, 2021 | 2:14 pm

COLOMBO (NEWS1ST) : හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍ර ජයසූරිය මහත්මිය අද (14) නියෝග කළා ය.

ඒ සිය නිවසේ මෙහෙකාර සේවයේ නියුතුව සිටි ඉෂාලිනි දැරිය කෘරත්වයට පත් කිරීම හා වධ හිංසාවට ලක්කිරීමේ සිද්ධියෙන් සම්බන්ධයෙන් වන නඩුවට අදාළවයි.

රිෂාඩ් බදියුදීන් මහතා එම නඩුවේ පස් වැනි සැකකරු ලෙස නම් කර සිටියේ ය.

මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ය.

මේ සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් බව පෙන්වා දෙමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා කරුණු දැක්වීමෙන් අනතුරුව විත්තිය කළ ඇප ඉල්ලීම සලකා බලා අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම ඇප නියෝගය නිකුත් කළේ ය.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය  රිෂාඩ් බදියුදීන් මහතා දැඩි ඇප කොන්දේසි යටතේ මුදා හැරීමට  කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (14) නියෝග කළේ ය.

ඒ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරිර ඇප දෙකක් යටතේයි.

බදියුදීන් මහතාගේ විදේශ ගමන් තහනම් කිරීමටත් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

එමෙන්ම සෑම සති දෙකකට වරක් ඉරු දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටත් මහේස්ත්‍රාත්වරයා බදියුදීන් මහතාට නියෝග කළේ ය.

අද දිනයේ විත්තිය කළ ඇප ඉල්ලීමට නීතිපති වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකොන් විරෝධය නොදැක්වීම හේතුවෙනි.

මහේස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය නිකුත් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]