by Staff Writer . 13-10-2021 | 10:16 PM
COLOMBO (NEWS1ST) : පාළු නිවසක් තුළ මියගොස් සිටියදි සොයා ගත් 14 හැවිරිදි දැරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) පෙරවරුවේ දඹුල්ල අතුපාරයාය පොදු සුසාන භුමියේදි සිදු කෙරිණ.
දැරියගේ අවසන් කටයුතු සඳහා සහභාගී වී සිටියේ, පවුලේ සමාජිකයින් පමණි.
14 හැවිරිදි දැරියගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දඹුල්ල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වුණු අතර මරණ සාහසික ක්‍රියාවකින් සිදුවූ මරණයක් බවට දඹුල්ල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිගමනය කළ බව පොලීසිය සඳහන් කළේ ය.
වැඩිදුර පරික්ෂණ සඳහා දැරියගේ සිරුරේ කොටස් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවීමට පියවර ගෙන තිබේ.
එහෙත් දැරිය ඝාතනය වුයේ කෙසේ ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.
දරුවා ඝාතනය කරන්නට ඇතැයි සැක කරන දැනට ප්‍රදේශයෙන් පළා ගොස් සිටින පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ සෙවීම සඳහා මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලීස් අධිකාරීවරයා යටතේ පොලිස් කණ්ඩායම් දෙකක් ද දඹුල්ල පොලීසියේ පොලිස් කණ්ඩායමක් ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.
දරුවන් 05 දෙනෙකුගෙන් යුත් පවුලේ 04 වැන්නා වූ මේ දැරිය සිය මව හා පියා සමග පදිංචි ව සිටියේ දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ නිවසකයි.
පසුගිය 06 වැනිදා එම නිවසට පැමිණ තිබූ පවුලේ හිතවතෙකු වූ දැනට අතුරුදන්ව සිටින සැකකාර පුද්ගලයා දැරිය ඔහුගේ නිවසට රැගෙන ගොස් තිබිණ.