ගුරු වෘත්තීය සමිති සහ අගමැති අතර සාකච්ඡාව අවසන්... විසඳුම පිළිගන්නේ ද? තීරණය කිරීමට හෙට සාකච්ඡාවක්

by Staff Writer . 12-10-2021 | 3:47 PM

COLOMBO (NEWS1ST) :  ගුරු - විදුහල්පති වෘත්තීය සමිති අද (12) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

මේ හමුවේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට ප්‍රමාණයත් විසඳුමක් ලැබුණා ද? අද දහවල් 12.30 ට පමණ අරලියගහ මන්දිරයට පැමිණි ගුරු, විදුහල්පති සංගම් පැය තුනහමාරකට අධික කාලයක් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර තිබිණ. ගුරු - විදුහල්පති වැටුම් විෂමතා විසඳීම සඳහා පත්කළ කැබිනට් අනුකාරක සභාවේ සමාජිකයෝ ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. එහිදී අදියර දෙකකින් ප්‍රශ්නය විසඳීමට යෝජනා කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ පිළිබඳව මෙලෙස කරණු පැහැදිලි කළේ ය.
''පළමුවෙන් යෝජනාවේදී ඉදිරිපත් වී තිබෙන පාර්ලිමේන්තුවට අයවැය යටතේ. එලෙස පළමු කොටස හැටියට ගෙවීමත්. දෙවැනි වාරයේ ඉදිරිපත් කරන , ඊළඟ ජනවාරි මාසයේදී ඒකාබද්ධ කරලා කොටස් දෙකක් වශයෙන් මේ කටයුත්ත නිම කිරීමයි එකඟතාවය''
සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ගුරු, විදුහල්පති සංගම් කියා සිටියේ වැටුප් ගැටලුවට රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ දැයි හෙට තීරණය කරන බවයි.
''අපි අපේ එකඟතාවය තවමත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කරලා නැහැ. ඒ වගේම අපේ වර්ජනය හෝ වෙත් තීන්දු අපි අවසන් කරලත් නැහැ. අපි මේ ක්‍රියාවලියෙන් ඉස්සරහට යනවා. අපි පැහැදිළිවම ගුරු විදුහල්පති සන්ධානය හැටියට හෙට දවසේ රැස්වෙලා තමයි අපි විදිමත්ව අපේ අදහස මේ සම්බන්ධයෙන් පැහැදිළි කරන්නේ'' - ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් -
 
''විශේෂයෙන්ම අපේ ඉල්ලීම මේක එකවර දෙන්න කියන එක.නමුත් ආණ්ඩුව පාර්ශ්වයෙන් ඔවුන් දිගටම අවධාරණය කළා, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කරපු කාරණය තමයි අපි එකවර දෙන්න කියද්දි. කිසිසේත්ම මෙවර අයවැය විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙනවා, ඒ වගේම තවදුරටත් මුදල් වෙන් කිරීමේ හැකියාවක් නැහැ. කියන එක තමයි ඔවුන්ගේ පැත්තෙන් ප්‍රකාශයට පත් කළේ.මේ සියලු කරුණු පිළිබඳව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතුයි. සාකච්ඡා කරලා අපි හෙට දවසේ තීරණය කරනවා අපේ ක්‍රියාමාර්ගවල ඉදිරියේ පිළිබඳ' - ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ -
ආණ්ඩු පක්ෂයේ වෘත්තීය සමිති මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළේ ය.
''මෙහිදී විදුහල්පති සංගම්, ගුරු සංගම් මස් රාත්තලම ඉල්ලා හිටියා. අගමැතිතුමා දිගින් දිගටම කිව්වේ මේ වෙලාවේ මුදල් නැති නිසා, අදියර තුනක් යටතේ වැටුප් ලබා දෙන්න තමයි. භාණ්ඩාගාර නිලධාරියෙක් ඇවිල්ලා හිටියා. එතුමාත් කිව්වේ මේක මේ වෙලාවේ තියෙන මුදල් දුෂ්කරතාවය නිසා අදියර තුනක් යටතේ දෙනවා කියලා. මේක එක වරම ලබා දෙන්නත් පුළුවන් කියන විශ්වාසය අපිට ආණ්ඩුව පැත්තෙන් තියෙනවා'' - ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ -
මේ අතර අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසන්නේ ආණ්ඩුව විසඳුම ඉදිරිපත් කරන සෑම අවස්ථාවකදීම ඉලක්කම් ඉදිරියට දමා අපහසුතාවය පවසනවා මිස අනාගත පරම්පරාව පිළිබඳව කිසිදු ආකාරයක ගණනය කිරීමක්, වටිනාකම තක්සේරු කිරීමක් සිදු නොකරන බවයි.
''විසඳුම ඉදිරිපත් කරන සෑම අවස්ථාවකදීම, මොහොතකදීම ආණ්ඩුව ඉලක්කම් ඉස්සරහට යොදාගෙන බැරිකම අපහසුතාවය කියනවා මිසක්ක, එහෙයින් වැනසී යන විනාශ වී යන අනාගත පරම්පරාව පිළිබඳව කිසිදු ආකාරයක ගණනය කිරීමක්, වටිනාකම තක්සේරු කිරීමක් ආණ්ඩුව විසින් සිද්ධ කරන්නේ නැහැ. ආණ්ඩුවේ මේක සුවිශාල මුදලක් හැටියට, ගණනය කරනවා. හැබැයි සීනි වංචාවෙන්, පොල්තෙල් වංචාවෙන්, වැට් බදු අහිමි කිරීමෙන්, රටට අහිමි වෙච්ච ධනය මේ බිලියන තිහ වගේ සිය ගුණයකින් දහස් ගුණයකින් වැඩියි''