ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව නිර්දේශයක්..

ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්ට තවත් එන්නත් මාත්‍රාවක් දෙන්න - WHO

by Staff Writer . 12-10-2021 | 2:25 PM

COLOMBO (News 1st) - ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්ට තවත් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබා දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපායමාර්ගික උපදේශක කමිටුව විසින් මෙම නිර්දේශය ලබා දී ඇති බවය. කොරෝනා මර්දනය සඳහා වන මූලික එන්නත් මාලාවක් අනුගමනය කිරීමෙන් පසුව වුවත් මෙම පුද්ගලයින් එන්නත්වලට ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීමේ ඉඩකඩ අඩු බැවින් මෙලෙස තවත් මාත්‍රාවක් නිර්දේශ කරන බව එම කමිටුව සඳහන් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් පිළිබඳ අධ්‍යක්‍ෂවරිය සඳහන් කළේ, මේ වනවිට ලොව පුරා කොරෝනා මර්දන එන්නත් බිලියන 3.5 ක් පමණ ලබා දී ඇති බවය. වසර අවසානයේදී ලොව සෑම රටකම ජනගහනයෙන් 40%කට එන්නත් කිරීම සිය ඉලක්කය වුවත් රටවල් අතර අසමතුලිත එන්නත් බෙදා හැරිම ඊට බාධාවක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.