බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක්

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කෙරෙන්නේ ඉරිදා, සඳුදා සහ අඟහරුවාදා පමණයි

by Staff Writer . 11-10-2021 | 8:49 PM
 

COLOMBO (NEWS1ST) : පරිගණක පද්ධතියේ බිඳවැටීම හේතුවෙන්, හෙට (12) සිට බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ, ඉරිදා, සඳුදා සහ අඟහරුවාදා දිනවල පමණක් බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසන්නේ, අද පැවති සාකච්ඡාවකදී පද්ධතිය යථාවත් වන තුරු තාවකාලික පිළියමක් ලෙස එක් එක් පළාත්වලට බලපත්‍ර නිකුත් කිරීමට දින වෙන් කිරීම මගින් පවතින ධාරිතාව තුළ පද්ධතිය බිඳවැටීම අවම කිරීමට හැකි බවට යෝජනා වූ බවයි. ඒ අනුව 2021.08.12 වන දින සිට 2021.12.31 දක්වා වාහන ආදායම් බලපත්‍ර කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන සඳහා 2021.12.31 දින දක්වා දඩ අය කිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලයක් ලබාදීමට ද තීරණය කර තිබේ.