by Staff writer 10-10-2021 | 9:30 AM
COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වැනි අභිමානවත් සංවත්සරය අදට(10) යෙදී තිබේ.
ඒ වෙනුවෙන් වන සම්මාන පෙළපාලිය අද පැවැත්වෙන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එම සැමරුම් උත්සවය සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළේ ය.
එමෙන්ම 30 වසරක් පුරා පැවති යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන් සිහි කරමින් ඔවුන්ට පුෂ්පෝපහාර දැක්වීම බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විය .
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ(09) අනුරාධපුර අබිමංසලහි නේවාසිකව සිටින රණක්ෂිතයට පත් (තුවාල ලැබූ) රණවිරුවන් බැහැ දැක ඔවුන්ගේ සුවදුක් විමසුවේ ය.
යුද හමුදා සංවත්සරයට සමගාමීව ශ්‍රී දළදා මාළිගාව, බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානය ඇතුළු සර්ව ආගමික ස්ථානවලදී ආගමික වතාවත් ද සිදු කෙරිණි.
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව මෙරට පළමු යුද හමුදාපතිවරයා ලෙස බ්‍රිගේඩියර් රොඩ්රික් සින්ක්ලේයාර් මහතා කටයුතු කළේ ය.
එතැන් සිට මේ දක්වා යුද හමුදාපතිවරුන් 22 දෙදෙනෙකු යටතේ පාලනය වූ යුද හමුදාවේ 23 වැනි යුද හමුදාපතිවරයා වන්නේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ය.
1949 වසරේ ආරම්භ වූ යුද හමුදාව ගෙවුණු වසර 72 ක කාලය පුරා, රටට හා ජන ජීවිතවලට එල්ල වූ විවිධ තර්ජන හා අභියෝගවලදී, මාතෘභූමියේ ස්වෛරීත්වයත්, භෞමික අඛණ්ඩතාවය සහ ජන ජීවිතවල සුරක්ෂිතතාව වෙනුවෙන් ජාතියේ ආරක්ෂකයා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කළ කාර්යභාරය අතිමහත් ය.
30 වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමෙන් නොනැවතුණ යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව, මෙරට කොරෝනා මර්දනය වෙනුවෙන් අදටත් නිදිවර්ජිතව සිය දායකත්වය ලබා දෙයි.
ඒ, සිය ඒකායන අධිෂ්ඨානය වන රටවැසියා ආරක්ෂා කිරීමේ වගකීම පෙරදැරිකර ගනිමින් ය.
යුද්ධයේදී මෙන්ම කොරෝනා උවදුරේදීත් සිය දිවි පරදුවට තබමින් අභීත රණවිරුවන් සිය නොනිමි මෙහෙවරේ තවදුරටත් නිරත වේ.
72 වසරක් පුරා ශ්‍රී ලාංකීය මාතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ම කැපවූ ජාතියේ මුර දේවතානෙනි ඔබට නිව්ස්ෆස්ට් උත්තමාචාරය..!