by Staff Writer . 09-10-2021 | 10:50 PM
COLOMBO (NEWS1ST) : වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ''බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
පසුගිය දිනක කැබිනට් රැස්වීමකදී සිදුකරන ලද අදහස් දැක්වීම් පිළිබඳව යළි පැහැදිලි කරමින් සිය ෆෙස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ තමා කැබිනට් රැස්වීමකදී පළ කළ අදහස් මේ වන විට විකෘති කර සමාජ මාධ්‍ය ඔස්ලේ පළ කරමින් ඇති බවයි.
එබැවින් එම අදහස් ඔහු මෙසේ යළි ඉදිරිපත් කර තිබේ.
දිගින් දිගටම ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතු බව ඔහුගේ අදහසයි.
රටට වැදගත් තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා එක දිනකින‍් සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් සාකච්ජාවක් පවත්වා ඒවා සම්මත කරගැනීම වඩා සුදුසු ක්‍රමය බව මෙහි සඳහන් ය.
එමගින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකිවනු ඇති බව වීරවංශ මහතාගේ අදහසයි.
ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ද ඉතා ඉක්මනින් සිදුකළ යුතු බව අවධාරණය කරන ඔහු පෙන්වා දෙන්නේ සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත් බවයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත්වීම තුළින් බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇති බව පෙන්වා දෙන වීරවංශ මහතා තමා පළ කරන මෙම අදහස්, කැබිනට් මණ්ඩයේ සාමුහික වගකීමට හානියක් නොවනු ඇතැයි විස්වාස කරන බව ද අදාළ සටහනේ දක්වා තිබේ.