පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සැරසයෙි

පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි ආකාරය ගැන නීතිපතිගෙන් පැහැදිලි කිරීමක්

by Staff Writer . 09-10-2021 | 9:32 PM
 

COLOMBO (NEWS1ST) :  පළාත් සභා ඡන්දය පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් දැන් යළිත් සංවාදයක් මතුවී තිබේ.

දැන් අවධානය යොමුවී තිබෙන්නේ පාර්ලිමේන්තුවට අලුත් පනත් කෙටුම්පතක් ඉදිරිපත්කර පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමටයි. සබරගමුව, නැගෙනහිර, උතුරු මැද පළාත් සභා නිල කාලය අවසන්වී මේ වනවිට වසර 5 කි. උතුර, වයඹ, මධ්‍යම පළාත් සභා නිල කාලය අවසන්වී අවුරුදු 4 ක් දැන් ගතවී තිබේ. බස්නාහිර, දකුණ සහ ඌව පළාත් සභා නිල කාලය ද අවසන්වී වසර තුනක් ඉක්මවා ඇත. පළාත් සභා ඡන්දය කල් දැමීමට සිදුවුණේ ඇයි? සමානුපාතික හා මිශ්‍ර ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමටත් කාන්තා නියෝජනය වැඩි කිරීමට ත් පළාත් සභා ඡන්ද විමසීමේ පනත 2017 සැප්තැම්බර් 22 වනදා වෙනස් කළේ ය. එම පනතට අනුව ඡන්ද කොට්ඨාස සීමාවන් නීර්ණය කළ යුතුවූ අතර සීමා නිර්ණය පාර්ලිමේන්තුවේදී පරාජය විය. මේ නිසා පළාත් සභා ඡන්දය පැවැත්වීම දිගින් දිගටම කල් දැමීමට සිදුවූ අතර මේ වනවිට ඡන්දය පැවැත්වීම විකල්ප යෝජනා දෙකක් ඉදිරිපත්වී තිබේ. එක් යෝජනාවක් වන්නේ සීමා නීර්ණය අවසන්කර පාර්ලිමේන්තුවේදී සම්මත කර ඡන්දය පැවැත්වීම. නැත්නම් තවත් කෙටුම්පතක් ඉදිරිපත්කර පාර්ලිමේන්තුවේ සම්මතකර පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීම. මැතිවරණ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පත් කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබඳව නීතිපතිවරයාගේ මතය ඊයේ කාරක සභාව රැස්වූ අවස්ථාවේ දැනුම්දී තිබිණ. ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරයවී ඇත්තේ නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට හෝ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බවයි. කාරක සභාවේ කාර්ය නිර්දේශ ලබාදීම මිස, නීති සැකසීම නොවන බැවින් නීති සැකසීම පාර්ලිමේන්තුවේ සහ පවතින රජයේ කාර්යක් බව ද දිනේෂ් ගුණවර්ධන මහතා මේ රැස්වීමේදී පවසා තිබිණ. නමුත් පළමු වරට රැස්වීමට සහභාගි වූ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පළාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂ සමග මෙහිදී සාකච්ඡා කර තිබේ. සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
''අපි එක හෙළා කියා සිටියා. අපි පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමය යටතේ වහාම පැවැත්වීමට සූදානම් කියලා. ඉතිං බැසිල් රාජපක්ෂ මැතිතුමත් එයාගේ ස්ථාවරය වුණේ අපි පරණ ක්‍රමය යටතේ සිටීම සම්බන්ධයෙන් ඔහුගේත් එකඟතාවයක් තිබුණා. දැන් අයවැය තිබෙන නිසා දෙසැම්බර්, ජනවාරි වෙනකොට අදාළ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමටත් එතැන සිට මාස දෙකක් තුනක් ඇතුලත මැතිවරණය පැවැත්වීමටත් කටයුතු කරන බවටත් අපි එක හෙලා ඒකමතිකව තීරණය කරලා පිළි ගත්තා''
පහතින් දැක්වෙන්නේ, දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්දිරන් මහතා පළ කළ අදහසයි.
''2019 වර්ෂයේදී මම පෞද්ගලික මන්ත්‍රීවරයාගේ යෝජනාව හැටියට කෙටුම් පතක් ඉදිරිපත් කරලා තිබුණා. මගේ කෙටුම්පත මම රජයට දැන් දී තිබෙනවා. ඒගොල්ලෝ ඒ ඕන නම් එකම අරගෙන රජයේ කෙටුම් පත විදියට ඒක ඉදිරිපත් කරලා. වහාම ඒ නීති සංශෝධනය කරලා ගෙනල්ලා මර්තු මාසෙට කලින් මේ පළාත් සභා මැතිවරණය තියෙන්න ඉඩ තියනවා''
පළාත් සභා ඡන්දය ඉක්මනින් පැවැත්වීමට නැවත් උනන්දු වන්නේ ඉන්දීය බලපෑමක් නිසාද?
''13 වෙනි සංශෝදනය හෝ ත්‍රිකුණාමලය තෙල් ටැංකි කිසිම කාරණයක් ගැන ශ්‍රී ලංකා රජයට එහෙම කිසිම අයුතු බලපෑමක් කරලා නෑ. මේ රටේ මැතිවරණ පවත්වන්නේ කවදාද මොන ක්‍රමය අනුවද කියන එක තීරණය කරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. දිනයක් තාම නියම වෙලා නෑ.‍ පාර්ලිමේන්තුවේ පනත ගෙනල්ලා, ඒක සම්මත කරගෙන, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය වගකීම භාර ගන්නවා''
- විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් - කෙසේවෙතත් ඉන්දීය විදේශ අමාත්‍යංශ ලේකම්වරයාගේ සංචාරයෙන් පසුව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයේ අවධාරණය කර තිබුණේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සියලු වගන්ති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බවයි. ඉන්දීය ස්ථාවරයට අනුව 13 වැනි සංශෝධනයට ඇතුළත් බලතල බෙදීම සඳහා වන වගන්ති සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුයි.