by Staff Writer . 08-10-2021 | 10:26 PM
කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් සමග කිලිනොච්චියේදී වැඩසටහනකට සහභාගී විය.
LTTE සංවිධානයේ ඉදිරි පෙළ නායකයෙකු ලෙස කටයුතු කළ කේ.පී.හෙවත් කුමරන් පද්මනාදන් එම සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නියෝජිතවරයා ලෙස ද කටයුතු කළේ ය.
කිලිනොච්චිය සෙන්චෝලෛ ළමා නිවාසයේ, මෙම වැඩසටහන පැවැත්වුණේ ලෝක ළමා දිනය වෙනුවෙනි.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සමග කුමරන් පද්මනාදන් ද ඊට එක්ව සිටියහ.
මෙහිදී මාධ්‍යවේදීන් කුමරන් පද්මනාදන් වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළ අතර මාධ්‍ය වේදීන් එලෙස යොමු කළ ප්‍රශ්න සහ පද්මනාදන් ඊට ලබාදුන් පිළිතුරු පහතින්...
මාධ්‍යවේදී ප්‍රශ්නය : - දෙමළ ඩයස්පෝරාවට ජනාධිපතිතුමා පසුගියදා සාකච්ඡාවකට ආරාධනා කරලා තිබුණා. ඔබතුමා මේ පිළිබඳව මොනවද කියන්නේ?
පිළිතුර (කුමරන් පද්මනාදන්) : - ජනාධිපතිතුමාගේ දූරදර්ශිභාවය තමයි ඒ තුළින් පැහැදිලි වෙන්නේ. මොන ප්‍රශ්නය තිබුණත් අපි සාකච්ඡා කරලා ඒක විසඳගත යුතුයි. දැන් ජනාධිපතිතුමා දෑත් දික්කරලා තියෙන්නේ. සියලු දේ එක පාරටම සාර්ථක වෙන්නේ නැහැ. ක්‍රමක් ක්‍රමයෙන් ඔවුන් සමග අත්වැල් බැඳගෙන වැඩ කළ යුතුයි. අපේ වර්තමාන පරපුර සඳහා එය කළ යුතුයි. අපි මේ අවස්ථාව මග හරින්න හොඳ නැහැ. ජනාධිතිතුමාට තුනෙන් දෙකේ බලයක් තියෙනවා. එමනිසා මෙය නිසි ආකාරයෙන් මෙය ප්‍රයෝජිනයට ගත යුතුයි කියන එක තමයි අපේ ජනතාවටත්, නායකයින්ටත් මම කියන්නේ
මාධ්‍යවේදී ප්‍රශ්නය : - අවසන් යුද සමයේදී LTTE යේ වත්කම් ඔබ සතුවූ බවට වාර්තා වුණා. ඒ වත්කම්වලට මොකද වුණේ?
පිළිතුර (කුමරන් පද්මනාදන්) : - අවසන් යුධ සමයෙදී මම මැලේෂියාවේ හැංඟිලා හිටියේ. කිසිම වත්කමක් මට ලබා දුන්නේ නැහැ. මගේ එදිනෙදා වියදමට විතරක් මුදල් ලබා දීලා තිබුණා. එහෙම වත්කම් තිබුණා නම් අපේ ජනතාව විනාශයෙන් බේර ගන්න තිබුණා. මොන මොන වත්කම් ඔවුන් දාමා ගියාද කියලා කවුරුත් දන්නේ නෑ. ඒ නිසා මේ කාරණාවට මෙතනින් නැවතීමේ තිත තිබ්බා නම් හොඳයි කියලා මම කියනවා.