මෙවර නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනකුට

මෙවර නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනකුට

by Staff Writer . 08-10-2021 | 7:59 PM

COLOMBO (NEWS1ST) : ලෝකයේම මාධ්‍ය නිදහස අභියෝගයට ලක්ව ඇති පසුබිමක, මෙවර නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පිරිනැමිණ.

ඔවුන් දෙදෙනා වන්නේ 58 හැවිරිදි මාරියා රෙසා හා 59 හැවිරිදි දිමිත්‍රි මුරතොව් ය. නොබෙල් කමිටුව නිවේදනය කළේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සහ භාෂණයේ නිදහස වෙනුවෙන් ගෙන ගිය අරගලය ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සාම ත්‍යාගය පිරිනැමෙන බවයි. ඒ සඳහා හිමිවන මූල්‍ය ත්‍යාගය අමෙරිකානු ඩොලර් මිලියන 1.1 කි. නොබෙල් කමිටුව ඔවුන් හැඳින්වූයේ සත්‍ය ගවේෂණය වෙනුවෙන් පෙනී සිටින සියලු මාධ්‍යවේදීන්ගේ නියෝජිතයින් ලෙසයි. මාරියා රෙසා 2012 දී රැප්ලර් නමින් ප්‍රවෘත්ති වෙබ් අඩවියක් ආරම්භ කරමින් පිලිපීනය තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා හෙළිදරව් කළා ය. එරට ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ ප්‍රතිපත්ති දැඩිව විවේචනය කළ ඇය, සමාජ මාධ්‍ය හරහා ද ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් දූෂණය පිටුදැකීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක නිරතවන අයෙකි. රුසියානු මාධ්‍යවේදී දිමිත්‍රි මුරතොව් 1993 වසරේ සිට නෝවායා ගැසෙටා නැමති පුවත්පතේ සංස්කාරකවරයා ලෙස කටයුතු කරයි. එම පුවත්පත මගින් විලැද්මීර් පුටින් ඇතුළු රුසියානු පාලක පැලැන්තිය දැඩිව විවේචනය කරන ඔහු, එරට සිදුවන දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ ගවේෂණාත්මක වාර්තා රැසක් ඉදිරිපත් කළේ ය.