පාරිභෝගික අධිකාරිය වහලා දැම්මා නම්, අඩුගානේ රජයට සල්ලි ඉතුරු වෙනවා - හිටපු විධායක අධ්‍යක්ෂ

by Staff Writer . 08-10-2021 | 9:45 PM

COLOMBO (NEWS1ST) : සුදු ළූණු පමණක් නොව ගෙන ගොස් ඇති උදු, පරිප්පු සහ කිරිපිටි පිළිබඳව සොයා බැලිය යුතුව ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි.

''සී.අයි.ඩි. එකට කිව්වේ සුදු ළූණු විතරක් නෙවෙයි. උදු ගිනිහිල්ලා තියනවා. මේ විදිහටම උදු පරිප්පු කිරිපිටි මාස ගාණක් තිස්සේ ගෙනියපු ඒවත් හොයන්න කියලා, සුදු ළූණුවලින් විතරක් වහගන්න හැදුවොත් මේ ඔක්කොම හොරු බේරෙනවා''
සුදුළුණු වංචාවක් සිදුවු බවට හෙළි කළ හිටපු විධායක අධ්‍යක්ෂවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් පළ කරමින් ඔහු ‌මේ බව සඳහන් කළේ ය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව කටයුතු සිදු නොවීම සහ හොර මැර ජාවාරම් සිදු වන්නේ නම්, තවදුරටත් එවැනි ආයතනවල සිටීමෙන් ඵලක් නොමැති නිසා තමා ඉවත් වූ බව ද හිටපු අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. තව ද පාරිභෝගික අධිකාරියෙන් සැබෑ ලෙසම ඵලක් නැති බව ද සඳහන් කළ හිටපු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ, එය වසා දමන්නේ නම්, රජයේ මුදල් හෝ ඉතිරි කර ගත හැකි බවයි.
 ''අපි ආවේ සෞභාග්‍යයේ දැක්ම කරන්න ඒක වෙන්නෙත් නැත්තම් හොර මැර ජාවාරම් ඔක්කොම වෙනවා නම්, මම හිතුවා මේක මෙතනින් එහාට මේකට සහභාගී වෙන්නේ නෑ කියලා ඒකයි මම අයින් වුණේ, පාරිභෝගික අධිකාරිය නියාමන අධිකාරියක් වුණාට ඒ ගොල්ලෝ කියන කර කරන්නේ නෑ කියලානේ මේ ඔක්කොම ප්‍රශ්න බන්දුල ගුණවර්ධනලා ආපු දවසේ ඉදලා තමයි මේ ප්‍රශ්න ආවේ එතුමන්ලා හිතාගෙන ඉන්නවා නම් එතුමන්ලාගේ වැඩකරන්න අපි ආවා කියලා ඒක නම් කෙරෙන්නේ නෑ ඉතිං දැන් ඉතිං අද හෙටම ඔය අනිත් තියන ගැසටුත් ගලවන්න වෙයි පාලන මිලවල් ඔක්කොම ඉවත් වෙයි මොකද ඒවා ප්‍රායෝගික නෑ දැන් එක එක්කෙනාගේ අවශ්‍යතාවයන් අනුව වැඩ වුණාම ඒවා ඒ විදිහට සිද්ධ වෙනවා. පාරිභෝගික අධිකාරියෙන් ඇත්තටම අද වැඩක් නෑ. ඒක වහලා දැම්මා නම් අඩුගානේ රජයට සල්ලි ඉතුරු වෙනවා. දැන් ඉතිං පාර්භෝගික අධිකාරියක් තියාගෙන මොනවා කරන්නද කරන වැඩක් නෑනේ''