නිරූපමා මෙවැනි ධනයක් රැස් කරගත්තේ කෙසේද?

දේශපාලනිකව අනාවෘත යැයි සලකනු ලබන නිරූපමා සහ ඇයගේ සැමියා මෙවැනි ධනයක් රැස් කරගත්තේ කෙසේද යන්න බරපතල කරුණක් - ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය

by Staff writer 08-10-2021 | 5:45 PM

 COLOMBO (NEWS1ST) : දේශපාලනිකව අනාවෘත යැයි සලකනු ලබන නියෝජ්‍ය අමාත්‍යවරියක් වූ නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මෙවැනි ධනයක් රැස් කරගත්තේ කෙසේද යන්න බරපතල කරුණක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) පවසයි. මේ අතර මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියගේ සහ ඇගේ සැමියාගේ මෙම පැහැදිලි නොකළ බවට චෝදනා ලබා ඇති වත්කම් පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට ඊයේ (08) පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් හෙළිදරව් කරන ලද පැන්ඩෝරා ලිපිලේඛන මගින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂගේ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතාගේ විදෙස්ගත ධනය පිළිබඳව ද තොරතුරු පසුගියදා අනාවරණය කර ගැනීමට හැකි විය. නිරූපමා රාජපක්ෂ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරනු ලැබූ කාලසීමාව තුළ ඇයගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන පිළිබඳව සොයා බලන මෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය කොමිසමෙන් ඉල්ලා සිටියේ ය. ඒ , මෙම හෙළිදරව්වෙන් අනාවරණය කර ඇති ගනුදෙනු, අල්ලස් පනතේ 23 (අ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි විය හැකි හෙයිනි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතෙහි (CIABOC Act) 4(1) වගන්තිය යටතේ, අල්ලස් පනතෙහි රෙගුලාසි යටතේ හෝ වත්කම් බැරකම් ප්‍රකාශන නීතිය යටතේ, මූලාශ්‍ර නොදන්නා ආදායම් මාර්ග හරහා අත්පත් කරගන්නා ධනය පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල CIABOC සතුව පවතින බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කරයි. තවද, අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ, මහජන මුදල් වංචාකර ඒවා මෙම විදේශගත සුරක්‍ෂිතයන් තුළ විශුද්ධිකරණයට ලක් කර ඇත්ද යන්නත් විමර්ශනය කිරීමට පියවර ගත හැකි බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වැඩිදුරටත් පවසයි.