5වන කඩුලේ වාර්තාගත සබඳතාවය ශ්‍රී ලංකාවට ජය ගෙනදෙයි

05 වන කඩුලේ වාර්තාගත සබඳතාවය ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාවට ජය ගෙනදෙයි

by Staff Writer . 07-10-2021 | 9:24 PM

COLOMBO (News 1st): ඕමානයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 19කින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද ජය ගත්තේය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 4 ලකුණු 51 කදී බිඳ වැටුණි. ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල්ට සහ කමිදු මෙන්ඩිස්ට ලකුණු රැස් කිරීමට හැකි නොහැකි විය. පැතුම් නිස්සංක ලකුණු 08කට දැවී ගිය අතර භානුක රාජපක්ෂ ලකුණු 15කට දැවී ගියේය. අනතුරුව ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමග පිටියේ ස්ථාවර වූ නායක දසුන් ශානක ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවේය. ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලේ නොබිඳුණු සබදතාව ලකුණු 111කි. එය පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයකදී පස්වැනි කඩුල්ලට ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවයි. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 59කින් නොදැවී ලකුණු 83 ක් රැස් කළ අතර නායක දසුන් ශානක පන්දු 24කින් නොදැවී ලකුණු 51ක් රැස් කළේය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 162ක් රැස් කළ අතර ලකුණු 163ක ඉලක්කයකින් පිටියට පිවිසි සත්කාරක ඕමාන කණ්ඩායමේ මුල් පෙල කඩුලු 2 ලකුණු 10කදී බිඳ වැටුණි. අයාන් ඛාන් ලකුණු 23යි. මොහොමඩ් නයීම් ලකුණු 32ක් රැස් කළේය. ලහිරු කුමාර ලකුණු 30ට කඩුලු 4යි. ඒ අනුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 143 ක් පමණි. චාමික කරුණාරත්න කඩුලු 3ක් දවා ගත්තේය. දෙරට අතර දෙවන සහ අවසන් 20 යි 20 ක්‍රිකට් තරගය ලබන 09වැනිදා පැවැත්වීමට නියමිතය.