ඉන්දීය විදේශ ලේකම් දිවයිනෙන් පිටව යයි

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාවකට ශ්‍රී ලංකාව යොදා ගැනීමට ඉඩක් නැහැ - ජනපති ඉන්දීය විදේශ ලේකම්ට කියයි

by Staff Writer . 05-10-2021 | 6:28 PM

COLOMBO (NEWS1ST) :  ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිඳු ක්‍රියාවකට ශ්‍රී ලංකාව යොදා ගැනීමට ඉඩ නොතබන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම්වරයාට අද (05) සහතික විය.

ඒ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි. චීනය සමග ඇති සබඳතාව පැහැදිලි කර ඇති ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ලේකම්වරයාට දන්වා ඇත්තේ ඒ පිළිබඳව කිසිඳු සැකයක් තබා නොගන්නා ලෙසයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳ පවතින තත්ත්වය දෙරටටම සුබදායී ආකාරයෙන් නිරාකරණය කිරිමේ වගකීම විෂයභාර අමාත්‍යවරයාට පවරා ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. ඉන්දීය සාගරය, සාම කලාපයක් බවට පත් කිරීමට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය 1971 දී කළ යෝජනාව ඉදිරියට ගෙන යාමට ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ය. මේ අතර තෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (05)පස්වරුවේ දිවයිනෙන් පිටව ගියේ ය.