by Staff Writer . 04-10-2021 | 9:06 PM
COLOMBO (NEWS1ST) : වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුරෝපා සංගම් නියෝජිතයින්ට අද (04) දැනුම් දුන්නේ ය.
මේ හමුව පැවැත්වුණේ, මිරිහානේ පිහිටි ජනාධිපති පුද්ගලික නිවෙසේදී ය.
යුරෝපා සංගමයේ GSP+ ප්ලස් පවත්වාගන යාමට මේ වන විටත් ශ්‍රී ලංකාව එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව ගැන අධ්‍යනය කිරීම මෙම දූත පිරිසේ අපේක්ෂාවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන ඔවුන් විශේෂ අවධානයක් යොමු කළේ ය.
ජනාධිපතිතුමා පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බවයි.
ඒ සඳහා පත් කළ කමිටුවල වාර්තා අනුව අධිකරණ ඇමකිවරයාටත් නීතිපතිවරයාටත් උපදෙස ලබා දී ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
යුරෝපා නියෝජිතයින් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව පවතින බවයි.
ගෙවුනු දෙවසර තුළ පැවති උද්ඝෝෂණවලට කිසිදු අවස්ථාවක බැටන් ප්‍රහාර ජල ප්‍රහාර හෝ කදුළු ගෑස් එල්ල නොකිරීමට උපදෙස් දුන් බවත් උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වෙනම ස්ථානයක් වෙන් කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.
රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට සහ රට ඉදිරියට ගෙන යාමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස්පෝරාව, විදෙස් ගත සියලු පාර්ෂව හා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ මහා මණඩලයේදී තමන් මතු කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
මෙම අධ්‍යයනයේ කරුණු පදනම් කරගන සවිස්තර වාර්තාවක් යුරෝපා කොමිසමට හා යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙම දූත කණ්ඩායම බලපොරොත්තු වේ.