''ඒ අයට තෙල් ටැංකි බලන්න යන්න, කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ''- ගම්මන්පිල

by Sagarika Chathumali 04-10-2021 | 7:27 PM

COLOMBO (NEWS1ST) :  1987 හා 2003 අත්සන් කළ ඉන්දු - ලංකා ගිවිසුමට අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 100 ම මේ වන විටත් ඉන්දියාවට භාර දීලා හමාර බව ත් තමන් ඉන්දියාව සමග ගැටෙමින් වසරක් පුරාවට උත්සහ දරමින් සිටින්නේ එම තෙල් ටැංකි නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අද බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී, මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළේ ය. එහිදී ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දිය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට ගියේ ඇයි ද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය වේදීහු අමාත්‍යවරයාගෙන් විමසා සිටියහ.
''ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 100ම මේ වන විටත් 1987 හා 2003 අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමට අනුව ඉන්දියාවට භාර දීලා හමාරයි. මා ඉන්දියාව සමග ගැටෙමින් වසරක් පුරාවට උත්සහ දරමින් සිටින්නේ එම තෙල් ටැංකි නැවත ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් පමණයි''
මේ අතර තමන් ඉන්දිය විදේශ ලේකම්වරයා සමග හෙළිකොප්ටරයකින් ගමන් කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඇමති ධුරය භාර ගැනීමෙන් පසු ඉන්දීය විදේශ ලේකම් සමග නොව වෙනත් කිසිවෙකු සමග හෝ හෙලිකොප්ටර් සවාරි නොගිය බවයි.
''අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් මෙන්න උදය ගම්මන්පිල ඇමති තුමයි ඉන්දියාවේ විදේශ ලේකම් තුමයි ත්‍රිකුණාමලයට ගමන් කරන හෙලිකොප්ටරයේ දර්ශන කියලා මාධ්‍යවලිනුත් පෙන්නුවා. මම ඇමති ධුරයට පත්වුණත් හරි අද දක්වා ඉන්දියානු විදේශ ලේකම් සමග නොව වෙනත් කෙනෙත් එක්කවත් හෙලිකොප්ටර් සවාරි ගිහින් නැහැ කියලා ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ ලේකම්වරයා මාත් සමග හෙලිකොප්ටර් සවාරි යනවා තියා මාව හමුවීමට අවස්ථාවක් වත් ඉල්ලලා නැහැ''
පසුගිය රජය විසින් තෙල් ටැංකි ඉන්දියාවේ භුක්තියට ලබාදීලා ඇති බැවින් ඒ අයට සම්පූර්ණ අයිතිය තියෙනවා එම තෙල් ටැංකි සංකීරණය නිරීක්ෂණය කිරීමට පූර්ණ අයිතියක් ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය.
''පසුගිය ආණ්ඩු විසින් මේ තෙල් ටැංකි ඉන්දියාවේ භුක්තියට ලබාදීලා ඉවර නිසා ඒ අයට සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒ තෙල් ටැංකි බලන්න යන්න. ඒකට කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ''
2024 වසරේ ගිවිසුම අවසන් වීමෙන් පසු යළි ගිවිසුම්ගත වීමේ කතාබහක් පවතින්නේ දැයි, මෙහිදී මාධ්‍යවේදීහු වැඩිදුරටත් විමසා සිටියහ. ඊට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු දුන්නේ ය.
''1987 හා 2003 අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුම අනුව මේ තෙල් ටැංකි සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට ලබාදීලා ඉවරයි. දැනට තියෙන්නේ කා ගාවද ඉන්දියාව ගාව . ඒක දීලා තියෙන්නේ කොච්චර කාලෙකද ? සදාකාලිකවම''
මේ අතර සංශෝධනය කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනත් කෙටුම්පත පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් පළ කළේ ය.
''මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන ඛනිජ තෙල් සංවර්ධන පනතෙන් සිද්ධ වෙන්නේ වසර දහස් ගණනක් මහ පොලව යට සැගවී තිබෙන මේ රටේ තෙල් හා ගෑස් සම්පත ගොඩට ගෙන රටත් ගොඩදැමීමට අදාළ විධි විධාන ඇතුළත් පනතක්. මෙකේ තෙල් සංස්ථාව පිළිබඳව එක වචනයක් මේ පනතේ සඳහන් වෙන්නේ නැහැ''