ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංග්ලා මුදල් ඇමති බැසිල් හමුවෙයි

by Sagarika Chathumali 04-10-2021 | 4:28 PM

COLOMBO (NEWS1ST) : මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

වත්මන් ගෝලීය වාතාවරණයට මුහුණ දීම සඳහා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව විදේශ ලේකම්වරයා සහ මුදල් අමාත්‍යවරයා අතර මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. අසල්වැසියෙකු ලෙස සහ කලාපීය බලවතෙකු ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය මෙහිදී මුදල් අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව ඇති අතර අන්‍යෝන්‍ය අවබෝධය සබඳතා තවදුරටත් ඉහළ නංවනු ඇති බව ද සඳහන් කර ඇත. කොරෝනා වසංගතය හේතුවෙන් බලපෑමට ලක් වූ මෙරට ආර්ථිකය නගා සිටුවීම සඳහා ඉන්දියාව සහයෝගය ලබා දෙන බවට ද මෙහිදී විදේශ ලේකම්කවරයා සහතික වී තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා ද හමුවිය. පසුගිය 2 වනදා රාත්‍රී දිවයිනට පැමිණි විදේශ ලේකම්වරයා ඊයේ (03) පෙරවරුවේ මහනුවරට ගොස් දළඳා සමිඳුන් වැඳපුදා ගත් අතර පසුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ත්‍රිකුණාමලයේ සංචාරයෙන් අනතුරුව විදේශ ලේකම්වරයා පිටත්ව ගියේ, යාපනයේ ද සංචාරයක් සඳහායි. ඉන්දීය විදේශ ලේකම්වරයා අග්‍රාමාත්‍යවරයා,මුදල් අමාත්‍යවරයාට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හමුවීමට නියමිත ය.