යොහානිට රාජ්‍ය සම්මානයක්…. රාජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේදි කියයි

යොහානිට රාජ්‍ය සම්මානයක්…. රාජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේදි කියයි

කර්තෘ Sagarika Chathumali

04 Oct, 2021 | 4:03 pm

COLOMBO (NEWS1ST) :  මේ වනවිට ලොව පුරා ජනාදරයට පත්ව සිටින මෙරට ගායිකා යොහානි ද සිල්වා වෙනුවෙන් රාජ්‍ය සම්මානයක් පුද කරමින් ගෞරව උපහාර පුද කිරීමට රජය කටයුතු සූදානම් කරමින් ඇතැයි, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, අද පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේග මන්ත්‍රී හේෂා විතාරණ මහතා කළ කරුණු විමසීමකට ප්‍රතිචාර ලෙසයි.

එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, ජාත්‍යන්තරය තුළ කතාබහට ලක්වන තැනකට රට ගෙන ගිය තරුණ ගායිකාව වෙනුවෙන් රජයෙන් ඉටුවිය යුතු යුතුකමක් ඇති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, යොහානිට ගෞරව පුද කිරීමට කටයුතු කරන බව ත් තව ද නව වැඩපිළිවෙළක් යටතේ කලා කෘති සංරක්ෂණය කරමින් සියලු කලාකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එක් අවස්ථාවකදී පමණක් සම්මානයක් පුද කර කලාකරුවෙකු සතුටු කිරීමේ ක්‍රමවේදයට එකඟ නොවන බවයි.

ඒ අනුව කලාකරුවන්ට ජීවිත කාලය පුරාවටම ගෞරවයක් අභිමානයක් සහිතව කලා කටයුතුවල යෙදීමට හැකි වන පරිදි වැඩපිළිවෙළක් සැකසීමට බලපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]