ලෝක නායකයින්ගේ රහස්‍ය ධනය සහ ගනුදෙනු හෙළිදරව්වක්

Pandora Papers: ලෝක නායකයින්ගේ රහස්‍ය ධනය සහ ගනුදෙනු පිළිබඳ හෙළිදරව්වක්

by Sagarika Chathumali 03-10-2021 | 11:21 PM

COLOMBO (NEWS1ST) :  විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වකින් ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, පැන්ඩෝරා ලේඛන (Pandora Papers)ලෙස නම් කර ඇති මෙම ලිපි ගොනුවල වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් බවයි. අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ දේපළ පවුම් මිලියන 70 ක් රහසිගතව එකතු කර ගත් ජෝර්දානයේ රජු පිළිබඳව ද පැන්ඩෝරා ලේඛන මගින් තොරතුරු හෙළි කර ඇත. මේ අතර හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ ලන්ඩන්හි කාර්යාලයක් මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු වශයෙන් පවුම් 312,000 ක් ඉතිරි කළ ආකාරය පිළිබඳව ද මෙම ලේඛන මගින් පෙන්වා දී  ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර රුසියානු ජනපති වැලැදිමීර් පුටින්ගේ මොනැකෝහි පිහිටි රහස්‍ය වත්කම් සම්බන්ධ තොරතුරු ද පැන්ඩෝරා ලේඛනවලින් තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ප්‍රංශයේ පිහිටි පවුම් මිලියන 12 ක වටිනාකමකින් යුත් විලා දෙකක් මිලදී ගත් ආකාරය පිළිබඳව චෙක් අගමැති ඇන්ඩ්රෙජ් බාබිස්ට තහවුරු කිරීමට නොහැකි වී ඇති බව ද මෙම ලේඛනවලින් අනාවරණය වී තිබේ. වත්කම් සම්බන්ධයෙන් ගතවූ වසර 7 ක කාලය තුළ ප්‍රකාශයට පත් වූ නවතම හා යාවත්කාලීනම ලේඛනය මෙය වන බව විදෙස් වාර්තාවන්හි සඳහන් වේ.