ත්‍රිකුණාමලයට ගිය ඉන්දීය විදේශ ලේකම් පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු විමසා බලයි

by Staff Writer . 03-10-2021 | 9:08 PM

COLOMBO (NEWS1ST) :  සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (3) මහනුවර, ත්‍රිකුණාමලය සහ යාපනයේ සංචාරය කළේ ය.

හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා කටුනායක ගුවන් තොටුපළේදී ඔහු පිළිගනු ලැබී ය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා මහනුවරට පැමිණියේ අද පෙරවරු 9.10 ට පමණයි. ඒ ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටර් යානයකිනි. පසුව ඔහු ශ්‍රී දළඳා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියේ ය. සමරු තිළිණ හුවමාරුවකින් අනතුරුව පිරිස සමූහ ඡයාරූපයකට ද පෙනී සිටියහ. ඉන් අනතුරුව විදේශ ලේකම්වරයා මෙලෙස මධ්‍යට අදහස් පළ කළේ ය.
''මේ ස්ථානය ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි ඉන්දියාවටත් පූජනීය ස්ථානයක්. උඩරට නර්තන මධ්‍යස්ථානයක් ඇතුළුව අපේ වැදගත් ව්‍යාපෘති කිහිපයක් මෙහිදී ක්‍රියාත්මක වනවා''
මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මතය කුමක් දැයි, මෙහිදී මාධ්‍යවේදියකෙු විදේශ ලේකම්වරයාගෙන් විමසා සිටියේ ය. ඊට ඔහු මෙලෙස පිළිතුරු දුන්නේ ය.
''මාගේ සංචාරය අතරතුර අපි ඒ පිළිබඳව අවධානය යොමු කරමු. නමුත් මෙය අධ්‍යාත්මික ගමනක්''
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා මහනුවර සිට ත්‍රිකුණාමලය බලා පිටත්ව ගියේ අද පෙරවරු 10.10 ට පමණයි. හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද පෙරවරුවේ ත්‍රිකුණාමලයට පැමිණියේ ඉන්දීය තෙල් සමාගම් පර්යන්තය නිරික්ෂණය කිරීම සඳහායි. ඉන්දීය තෙල් සමාගමේ නව නිෂ්පාදනයක් එළි දැක්වූ විදේශ ලේකම්වරයා පසුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය කළේ ය. මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ පහළ ටැංකි සංකිර්ණයේ සංවර්ධන කටයුතු විදේශ ලේකම්වරයා විමසා බැලූ බවයි. ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දු - ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ඉන්දීය තෙල් සමාගම ඉන්දීය විදේශ ලේකම්වරයා දැනුවත් කළ බව ද එම ට්විටර් පණිවිඩයේ සඳහන් ය. දැනට ඉන්දීය තෙල් සමාගම භාවිත කරන තෙල් ටැංකි 20 කට ආසන්න ප්‍රමාණය පිහිටා ඇත්තේ පහළ ටැංකි සංකීර්ණයේයී. මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා තෙල් ටැංකි සංකීර්ණයෙන් පිටතට අවේ ඉහළ ටැංකි සංකීර්ණයේ දොරටුවෙනි.