ගොවි දුක සොයන්න කුඹුරට ආ විපක්ෂ නායක

by Staff Writer . 03-10-2021 | 10:16 PM
COLOMBO (NEWS1ST) :  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක "ගොවි හද ගැස්ම" වැඩසටහනෙහි පළමු වැඩ සටහන හම්බන්තොට, ලුණුගම්වෙහෙර,අග්බෝපුර ප්‍රදේශයේ දී පැවැත්විය. විපක්ෂ නායකවරයා ප්‍රදේශයේ ගොවි බිම්වලට ගොවි ගොස් ගොවි ජනතාවගේ ගැටලු කෙරෙහි සිය අවධානය යොමු කළේ ය. මෙහිදී ගොවීහු තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව විපක්ෂ නායකවරයා දැනුවත් කළහ.
 
ගොවීන්ගේ ගැටලුවලට සවන් දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ගොවීන්ට අහිමි වුණු ආදායමට, ගොවියාට සිදු වූ විනාශයට, එරෙහිව ගොවි ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සමගි ජන බලවේගයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.
''නිර්දේශිත පොහොර ටික නෑ කෘෂි රාසායනික කෘමි නාශක වල් නාශක මිල ඉහල ගිහිල්ලා ඒ වගේම කලට වේලාවට පොහොර ටික නොලැබුණු නිසා අස්වැන්න අඩුම තරමේ 40% න් වත් පහළ ගිහිල්ලා තියනවා. මේකට ආණ්ඩුව වග කියන්නට ඕන. ඒ විතරක් නෙමෙයි. වගා කරපු වීවලට කෝ නිශ්චිත මිලක්. අද මිල පාලනය කරන්නේ ආණ්ඩුව නෙමෙයි. දැන් ගොවියට කියනවා කාබනික පොහොර භාවිතයේ නියැලෙන්නෙයි කියලා. අඩුම තරමින් ගොවි ජනතාවට නිසි ආකාරයෙන් උපදෙස් ලබා දීලා නෑ. කොහොමද මේ කාබනික පොහොර නිපදවන්නේ. නිපදෙව්වහම කොහොමද යොදවන්නේ. ඒ ක්‍රමවේදය කුමක්ද? ඒ මොනවත් පිළිබඳව කිසිම දැනුවත් කිරිමක් නෑ. මං පැහැදිලිව කියන්න කැමතියි . ගොවියාට මේ අහිමි වුණු ආදායමට, ගොවියට මේ සිදු වුණු විනාශයට, ගොවි ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්නට සමගි ජන බලවේගයේ අපේ පූර්ණ සහයෝගය අපි ලබා දෙනවයි කියන එක මං මේ අවස්ථාවේ කියන්න කැමතියි.