මිත්‍ර ශක්ති හමුදා අභ්‍යාසයට ඉන්දීය යුද හමුදාපතිත්

ඉන්දීය යුද හමුදාපති ත් 'මිත්‍ර ශක්ති' හමුදා අභ්‍යාසයට සහභාගිවීමට නියමිතයි - යුද හමුදාපති

by Staff Writer . 03-10-2021 | 7:50 PM

COLOMBO (NEWS1ST) :  ඉන්දීය - ශ්‍රී ලංකා 'මිත්‍ර ශක්ති' හමුදා අභ්‍යාසයට සහභාගිවීම සඳහා ඉන්දීය යුද හමුදාපතිවරයා මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර හෙට අම්පාරේදී ආරම්භ වන මිත්‍ර ශක්ති ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා සහභාගිවන ඉන්දීය හමුදා සමාජිකයින් 120 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය ඊයේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය. ඉන්දීය හමුදාව මෙම අභ්‍යාසයට සහභාගි වන්නේ කර්නල් ප්‍රකාශ් කුමාර් මහතාගේ නායකත්වයෙනි. මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් පී.එන්. ගොඩැල්වත්ත සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා විසින් පිරිස මත්තලදී පිළිගනු ලැබී ය. 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා මෙම අභ්‍යාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ. මත්තලට පැමිණි ඉන්දීය හමුදා සාමාජිකයින් පිරිස පසුව අම්පාර සටන් පුහුණු පාසලට පැමිණි අතර එහිදී යුද අභ්‍යාසයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් පිළිගනු ලැබී ය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සමග සිදුකරන මෙම අභ්‍යාසය අම්පාර සටන් පුහුණු පාසලේ දී කොවිඩි – 19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ජෛව බුබුලක් ලෙස සති දෙකක් ක්‍රියාත්මක කිරීමට සූදානම්කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ, කැරළි හා ත්‍රස්ත මර්දනය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ අත්දැකීම් හුවමාරු කර ගනිමින් අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කර ගැනීම මේ අභ්‍යාසයේදී සිදුවනු ඇති බවයි.