අහසින් බිමට වැටුණේ මකුළු දැල්ම ද?

අම්පාර හා හම්බන්තොට අතර ඉහළ අහසින් වැටුණේ, මකුළු දැල්ම ද?

by Staff Writer . 03-10-2021 | 8:03 PM

COLOMBO (NEWS1ST) :  හම්බන්තොට සිට අම්පාර දක්වා ප්‍රදේශ කිහිපයකට ඊයේ දිනයේ මකුළු දැල්වලට සමාන යමක් ගුවනින් පතිත වී තිබේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, හම්බන්තොට සූරියවැව , වල්සපුගල , නබඩගස්වැව ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉහළ අහසේ මෙම දැල් විශේෂය දිස්වූ බවයි. අම්පාර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසකින් ද මෙම මකුළු දැල් වැනි විශේෂය හමුවී තිබිණ. රජගලතැන්න, ගල්කන්ද ඇතුළු ගම්මානවල ජනතාව සඳහන් කළේ, වරින් වර මෙම දැල් අහසේ සිට පාවී ආ බවයි. මහියංගනය නගරාසන්න ප්‍රදේශවලින් ද මෙම දැල් හමුවී තිබිණ. අහසින් වැටුණු බව කියන මේ ද්‍රව්‍ය කුමක්ද? මෙම මකුළු දැල් වැනි ද්‍රව්‍ය විශේෂය ගුවන් යානා ක්‍රියාකාරකමක් හේතුවෙන් ඇති වූ සිදුවීමක් නොවන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශයක ගෘප් කැප්ටන් දුශාන් විජේසිංහ මහතා අප කළ විමසීමකදී කියා සිටියේ ය. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර මහතා පැවසුවේ එම දැල් විශේෂය පතිත වූ ස්ථාන තම නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබූ බවයි. හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් පැමිණ වැඩිදුර පරීක්ෂණ සඳහා සම්පල් කිහිපයක් ලබා ගත් අතර ඒවා හම්බන්තොට පරිසර අධීකාරි කාර්යාලයට වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ බද ඔහු කියා සිටියේ ය. මේ අතර සිරියාවෙන් 2012 දී මෙවැනි සිදුවීමක් වාර්තා විය. ඒ පිළිබඳව ප්‍රසිද්ධ කර ඇති විද්වත් ලිපියට අනුව මකුළු දැල් වැනි ද්‍රව්‍ය පිළිබඳව තවත් මතයක් පළ කර තිබේ. එම ලිපියේ සඳහන් වන්නේ රේඩාර් තරංගවලට හසු නොවන අයුරින් යුද ගුවන් යානා පියාසර කිරීමට මකුළු දැල් වැනි ද්‍රව්‍යයක් ගුවනට මුදා හරින බවයි. ඒවා ෆයිබර් හා ප්‍රෝටීන් යොදා ගෙන සකස්කර ඇති අතර ගුවනේ සිට මුදා හැරීමෙන් පසුව කුඩා කැබලිවලට කැඩී විසිරී යන බව එම ලිපියේ සඳහන් ය. මෙවැනිම ද්‍රව්‍ය 1990 සහ 1993 කාල සීමාවේ කොඒෂියාවෙන් ද හමුවූ බව එහි සඳහන් විය.