ඉන්දීය විදේශ ලේකම් අද (02) රාත්‍රියේ දිවයිනට

ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංග්ලා අද (02) රාත්‍රියේ දිවයිනට

by Staff Writer . 02-10-2021 | 7:30 PM

COLOMBO (NEWS1ST) :  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (02) රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුවයි. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් හමුවනු ඇති. හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා හෙට (03) මහනුවරට ගොස් දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමට නියමිත අතර ත්‍රිකුණාමලයේ හා යාපනයේ ද සංචාරය කිරීමට නියමිතයි. ඉන්දීය විදේශ අමාත්‍යංශ ලේකම්වරයා ලබන සඳුදා ආණ්ඩුවේ නියෝජිතයින් හා අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද හින්දු පුවත්පත සඳහන් කළේ ය. එහි දැක්වෙන්නේ කොවිඩ් මර්දන එන්නත් කඩිනමින් අපනයනය කිරීම, කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදෙස් සංචිත අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් ලබා දිය හැකි සහයෝගය පිළිබඳව ඇගයීමක් කිරීමට ඉන්දීය නියෝජිත පිරිසට මේ සංචාරයේදී අවස්ථාව උදාවන බවයි. දෙපාර්ශ්වයට අමතරව මාලදිවයින් නියෝජතයින්ගේ ද සහභාගීත්වයෙන් ත්‍රස්තවාදය ,මත්ද්‍රව්‍ය හා මුහුදු මංකොල්ලවලට එරෙහිව තෛපාර්ශ්විකව ආරක්ෂක ක්‍රියාමාර්ග ගත හැකි ආකාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වෙනු ඇති. එම ආරක්ෂක සැලසුම් සම්බන්ධයෙන් මුරුසි දිවයින, ෂීෂෙල්ස් හා බංග්ලාදේශය යන රටවලට ද යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට එහිදී අවධානය යොමු කිරීමට නියමිතව තිබේ. ඉන්දීය රජයේ නිලධාරියෙකු උපුටා දක්වන ද හින්දු පුවත්පත පෙන්වා දෙන්නේ න්‍යෂ්ටික සබ්මැරීන්වලින් ද සන්නද්ධ ඔස්ට්‍රේලියා, අමෙරිකාව හා එක්සත් රාජධානිය ද ඇතුළත් ආසියා ශාන්තිකර කලාපීය සන්ධානයට අදාළව ඉන්දියාවේ ප්‍රතිපත්තිය පිළිබඳව මෙහිදී සාකච්ඡා නොකෙරෙනු ඇති බවයි.