''රට අනාථයි'' - විපක්ෂ නායක

''ආණ්ඩුව මුළු සමාජයම කෘත්‍රිම ව්‍යසනයකට පත්කරලා ''- විපක්ෂ නායක

by Staff Writer . 02-10-2021 | 8:55 PM

COLOMBO (NEWS1ST) :  ආණ්ඩුව ජන සමාජයම කෘත්‍රිම ව්‍යසනයකට ලක් කර ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 20ක් වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ තොගයක් අද බුත්තල ප්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ය. විපක්ෂ නායකවරයා එහිදී පැවසුවේ, අද වන විට රජය ද්විත්ව රංගනයක නිරත වන බවයි.
''දිව දෙකේ රංගනයක් එක වෙලාවකට ඇමැතිවරයා කියනවා හරි අපි මේ කාබනික පොහොර පිළිගන්නේ නැහැ. අපි බාරගන්නෙ නැහැ එහෙම කියලා ඊළඟ දවසෙ තවත් බලවතෙක් කියනවා අපි ඒව ටික භාර ගන්නවා කියලා.මොකක්ද මේ විහිළුව. මේ සෙල්ලම් කරන්නේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක නේද?''
එන්නත ගෙනඒම පරක්කු කිරීමේ ඵලවිපාක ලෙස දහස් ගණනක් ජීවිත අහිමිවූ බවත් පසුව ගෙනා එන්නත් ලබා දීම සඳහා ද නිසි ක්‍රමවේදයක් නොතිබූ බවට විපක්ෂ නායකවරයා චෝදනා කළේ ය.
''එන්නත ගෙනෙන එක පරක්කු කිරීමේ ඵලවිපාක මොකක්ද, දහස් ගණනක් මිය යනවා. එන්නත ගෙන්වුවායින් පස්සෙත් හරි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. වැක්සින් ප්‍රොටෝකෝල් එකක් තිබුණෙ නැහැ . වයස්ගත අයට ප්‍රමුඛතාව දුන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් තුළ අපට පෙනෙන්නේ රට අනාථයි. මුළු ජන සමාජයම කෘත්‍රිම ව්‍යසනයකට මේ ආණ්ඩුව පත්කරලා තිබෙනවා''