අද (02) ත් ප්‍රදේශ රැසකට තද වැසි...

අද (02) ත් ප්‍රදේශ රැසකට තද වැසි... දිස්ත්‍රික්ක 5කට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත්

by Staff Writer . 02-10-2021 | 9:12 AM

COLOMBO (NEWS1ST) :  දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ඒ අනුව බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතරසහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. තව ද ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ත් දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද සවස් කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ත් කාලගුණ අනාවකියේ සඳහන් ය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී. අද අලුයම 5.00 න් අවසන් වු ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කළුතර පාලින්ද නුවරින් වාර්තා වී ඇති අතර එම අගය මිලිමීටර් 118 කි. මතුගම ප්‍රදේශයට අදාළ කාල සීමාව තුළ මිලිමීටර් 102 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර බත්තරමුල්ල ප්‍රදේශයට මිලිමීටර් 100.5 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 5 කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (02) රාත්‍රිය දක්වා ක්‍රියාත්මකයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙම නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය සහ නෙලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, සහ දොඩංගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලටයි. මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, දොලුව සහ ගඟවට කෝරලය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් ඊයේ පස්වරුවේ නිකුත් කෙරිණ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, අයගම, රත්නපුර සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාසවලට නායයම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කළ බවයි. එම ප්‍රදේශවල ජනතාව නායයාමේ, බෑවුම් කඩා වැටීමේ , ගල් පෙරලීමේ පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොලොව ගිලා බැසීමේ අවදානම පිළිබඳව විමසිලිමත් විය යුතු බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ය.