ග්‍රාම නිලධාරිනියගේ සැමියා ඝාතන සිද්ධියට සැකපිට ලුතිනන් කර්නල් රිමාන්ඩ්

by Staff Writer . 30-09-2021 | 9:24 PM

COLOMBO (NEWS1ST) :  මට්ටක්කුලියේ, ග්‍රාම සේවා නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සමන්ත තිලකරත්න මහතා හෙට (01) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ අද (30) ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මට්ටක්කුලිය පොලීසිය අද අධිකරණයේදී කියා සිටියේ මෙම ඝාතනය, සැකකාර ලුතිනන් කර්නල්වරයා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි. ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කදවුරේ තවත් සාමාජිකයින් 13 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ තොටලග එල්ලේ ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කළ අකිල සම්පත් රත්නසිරි නමැති 36 හැවිරිදි තිදරු පියෙකි. යුද හමුදා කඳවුරට අයත් කැබ් රථයකින් පසුගියද 17 වැනිදා මෙම පුද්ගලයා පැහරගෙන ගොස් ඇති අතර ඔහුගේ සිරුර පසුගිය 20 වැනිදා කාකදුපතේ වෙරළේ තිබියදී සොයා ගැනිණ. පොලීසිය පැවසුවේ මොහු පැහරගෙන ගොස්, පහර දී ගෙල සිරකොට පසුව සේදවත්ත කළු පාලමෙන් කැලණි ගඟට දමා ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බවයි. පොලිස් පරීක්ෂණවලදී නිරීක්ෂණ වී ඇත්තේ, මොහුගේ බිරිඳ පැවැත්වූ සබඳතාවක ප්‍රතිඵලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි. අදාළ කාන්තාව ද මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කර තිබේ.