ඉන්දියාවේ ඉහළ පෙළේ කෙනෙක් ලංකාවට එන්නෙ ඇයි?

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී ලංකාවේ හදිසි සංචාරයකට සැරසෙයි

by Staff Writer . 30-09-2021 | 9:06 PM

COLOMBO (NEWS1ST) :කොළඹ වරාය බටහිර පර්යන්ත ගිවිසුම අත්සන් කරන අතරවාරයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා මහතාගේ හදිසි ශ්‍රී ලංකා සංචාරයක් පිළිබඳ පුවත්ක් අද (30) වාර්තා විය.

ඒ අනුව ඔහු ඔක්තොම්බර් මස 2 වනදා සිට 5 වනදා දක්වා මෙරට සංචාරය කරන බව හින්දු පුවත්පත වාර්තා කර තිබේ. පසුගියදා නිව්යෝර්ක් නුවරදී ඉන්දු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් ද හමුවී සාකච්ඡාවක නිරත විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 28 වනදා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා හමුවුණේ මෙවැනි පසුබිමක් තිබියදී ය. මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගම හා ශ්‍රී ලංකාව අතර දැනට ක්‍රියාත්මක ගිවිසුම 2024 වසරේදී අවසන්වීමට නියමිතව තිබේ. මෙරට ඉන්ධන පිරවුම්හල් 100 කට අධික ප්‍රමාණයක් හා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය තෙල් සමාගම සතුවූයේ මේ ගිවිසුම හරහායි.