මෙත්සිරි සෙවනේ  ඔක්සිජන් සැපයුම බිඳ වැටුණේ කොහොමද?

මෙත්සිරි සෙවනේ ඔක්සිජන් සැපයුම බිඳ වැටුණේ කොහොමද?

by Staff writer 29-09-2021 | 11:28 PM

COLOMBO (News 1st) - ගෙවීම් ප්‍රමාදවීමක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල හා අනුබද්ධ මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඔක්සිජන් සැපයුම බිඳ වැටුණු බව රෝහල් බලධාරීන් පවසයි.

ඔවුන් සඳහන් කළේ, අද (29) උදෑසන සිට මෙම තත්ත්වය මතු වූ බවය. අනුරාධපුර ශික්ෂණ රෝහලට දිනකට ඔක්සිජන් සිලින්ඩර් 300ක් අවශ්‍ය වෙන අතර දිනකට වාර තුනක් වශයෙන් එම සැපයුම සිදු කරන්නේ සිලෝන් ඔක්සිජන් සමාගමයි. ගෙවීම් සිදුකර නොමැති බැවින් ඔක්සිජන් සැපයුම නතර කරන බවට එම ආයතනය මීට දින දෙකකට පෙර අදාළ රෝහල් වෙත දැනුම්දී තිබේ. මෙත්සිරි සෙවණ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආයන භාර වෛද්‍ය නිලධාරී, වෛද්‍ය චින්තක රත්නසූරිය මහතා,
අද උදෑසන අපට දැනගන්න ලැබුණා ඔක්සිජන් සපයන සිලෝන් ඔක්සිජන් ආයතනය විසින් අද උදෑසන සිට ඔක්සිජන් සැපයුම නවත්තන බවට වාචිකව දැනුම්දීමක් සිද්ධ කළා. ඒ අනුව අද අලුයම ලැබීමට තිබුණු සිලින්ඩර්ස් ප්‍රමාණය සහ දහයාමාරට අපට ලැබෙන්න තිබුණු සිලින්ඩර් ප්‍රමාණය ඔවුන් සැපයුවේ නැහැ. මේ වෙනකොට අපේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 12 කුත් අධිසත්කාර ඒකකයේ රෝගීන් 11 කුත් සම්පුර්ණ වශයෙන් රෝගීන් 23 කුත් දැඩි ඔක්සිජන් මත යැපීමකින් තමයි ප්‍රතිකාර ලබමින් ඉන්නේ මේ වෙනවිටත් අපට ඔක්සිජන් ලැබීම පිළිබඳ ස්ථිර පණිවුඩක් ලැබිලා නැහැ
මතු වූ හදිසි තත්ත්වය මත ඔක්සිජන් සැපයුම ලබාදී තිබූ රෝගීන්ගේ ඔක්සිජන් අවසන් වෙත්ම සිලින්ඩර් සියයක් පමණක් අදාල සමාගම ලබාදී තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය දුලාන් සමරවීර මහතා,
දැනට අපට ඔක්සිජන් සිලින්ඩර් සීයක් විතරක් ලැබුණා රෝහලට ඔක්සිජන් සපයන සමාගම දින දෙකක විතර කලින් දැනුම්දීලා තිබුණා ඔවුන්ට ඉදිරියේදී ඔක්සිජක් සපයන්න බැහැ කියලා මෙවැනි තත්ත්වයක් යටතේ ඔක්සිජන් සැපයුම අඩාල වුණා නමුත් දැනට සියයක් පමණ ලැබිලා තියනවා.
මේ පිළිබඳව අප කළ විමසීමකදී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, ගැටලුව සම්බන්ධයෙන් අදාල අංශ කටයුතු කරමින් සිටින බවයි.