පුද්ගලික ඒකාධිකාරියක් හාල් මිල තීරණය කරනවා නම්, මහජන ඡන්දයෙන් ආණ්ඩුවක් ඕනද?- නිශාන්ත අත්තනායක

by Staff Writer . 29-09-2021 | 10:13 PM

COLOMBO (NEWS1ST) : පාලන මිලෙන් නිදහස් වූ සහල් සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ද අද (29) සිය මිල ගණන් ඉදිරිපත් කළේ ය.

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් සංගමයේ සභාපති වී. කේ. රංජිත් මහතා සහල් මිල ගණන් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ ය.
''නාඩු සහල් කිලෝ එකක් ගොවි මහත්වරුන්ට රුපියල් 60 කට වී කිලෝ එකක් දෙන්න පුළුවන් නම්, තොග 107 ක් වගේ මිලක් අපි යෝජනා කරන්නේ.  ඒවගේම ගොවි මහත්වරුන්ට සම්බා වී කිලෝ එක රුපියල් 70 ක් දීලා සම්බා සහල් කිලෝ එකක් 130 ක් වගේ අපි යෝජනා කරන්නේ. ඒ වගේම කීරි සම්බා ගොවි මහත්වරුන්ට වී කිලෝ එකට රුපියල් 80 ක් දීලා හාල් කිලෝ එක රුපියල් 150ක් වගේ මුදලක් අපි යෝජනා කරන්නේ''
මේ අතර මහනුවර දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති නිශාන්ත අත්තනායක මහතා පවසන්නේ, පුද්ගලික ඒකාධිකාරියක් විසින් සහල් මිල, වී මිල තීරණය කර ප්‍රසිද්ධියේ වැඩ කරමින් සිටින බවයි.
''මම අහන්නේ මේ වගේ දේවල් කරන්න නම් මිනිස්සු මහජන ඡන්දයෙන් ආණ්ඩුවක් පත් කරගන්න ඕනෙ ද? මේ වගේ තත්ත්වයකට රජයක් පත් විය යුතු නැහැ. රජයට බල තල තියෙනවා. තුනෙන් දෙකක බලය තියනවා. ඒ වගේම හදිසි නීතිය තියනවා. මේ සියල්ල තියෙද්දී ඒකාධිකාරයට ආණ්ඩුව යටත් වෙලා. අද ගොවියගෙත් පාරිභෝගිකයටගෙත් ඉරණම තීරණය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ පුද්ගලික ඒකාධිකාරයකට. මෙහෙම භාර දෙන්න ආණ්ඩුවකට අයිතියක් තියෙනවාද ?''
පුත්තල දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමය නියෝජනය කරමින් කේ. බී. අබේකීර්ති මහතා 1994 වසරේ සිට පැවති ආණ්ඩු කිරි පොවා හැදූ සර්පයින් විෂ දුම් පිඹින විට ඒ විස දුමාරයෙන් මේ රටේ අහිසංක පාරිභෝගිකයින් වැසි ඇති අවස්ථාවක මෙලෙස අදහස් පළ කිරීමට සිදුව ඇති බවයි.
''දැන් මේ ප්‍රශ්නේ විසඳන්නත් පිට රටින් තමයි හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වනවා කියන්නේ. කාබනික පොහොර යොදපු හාල් නෙවෙයි ඒ ගෙන්වන්න වෙන්නේ. ඒවාට මොනවා වෙනවද අපි දන්නේ නැහැ''
මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඊයේ ඔවුන්ගේ මිල ගණන් ප්‍රකාශ කළ අතර එහිදී නාඩු රුපියල් 115 කටත්, සම්බා රුපියල් 140 කටත්, කීරි සම්බා රුපියල් 165 කටත් සිල්ලර වෙළෙද පොළේ අලෙවි කරන බව ප්‍රකාශ කළේ ය. තව ද සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් සංගමයේ සභාපතිවරයා පවසන්නේ, යළි දිනෙන් දින හාල් මිල වැඩි කළොත් රටට සාධාරණ මිලකට හාල් නිකුත් කිරීමේ වගකීම මහා පරිමාණ මෝල් හිමියන් සතු බවයි.
''නැවත දිනෙන් දින හාල් මිල වැඩි කළොත් රටට සාධාරණ මිලකට හාල් නිකුත් කිරීමේ වගකීම මහා පරිමාණ මෝල් හිමියෝ සතුයි. අතරමැදියෝ සතුයි. ඒ වගේම අතරමැදියන් හා මහා පරිමාණ මෝල හිමියන් වී මිල වැඩි කළොත් ඕකේ වගකීමත් භාර ගන්න ඕනේ මේ දෙපාර්ශ්වය. ඊයේ දිනයේ නිකුත් කළ මිල ගණන් ඒ ආකාරයටම තියෙයි ද කියලා අපිට විශ්වාසයක් නැහැ. ඔවුන් දිනෙන් දින මිල වෙනස් කරන්න හැකියාව තියෙනවා.අනිවාර්යෙන් කරනවා. ඔවුන් පසුගිය කාල පරාසය තුළ වැඩ කරපු ආකාරය නිසා අපිට ඔවුන් ගැන විශ්වාසයක් නැහැ''