GSP සහනය ගැන යුරෝපා සංගම් නිලධාරීන් පක්ෂ සමග සාකච්

GSP සහනය ගැන යුරෝපා සංගම් නිලධාරීන් පක්ෂ සමග සාකච්ඡා

by Staff Writer . 28-09-2021 | 9:39 PM

COLOMBO (NEWS1ST) :  අපේ රටට විදේශ විනිමය එන එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ ඇගලුම් ඇතුළු අපනයනයි.

යුරෝපා සංගමය අපේ රටට ලබාදී ඇති GSP සහනය උපයෝගී කර ගනිමින් බදු සහන මත මේ වසරේ මුල් මාස හත තුළදී ඇගලුම් අපනයෙන් 45% ක් එම කලාපීය රටවලට සිදු කර තිබේ. එහි වටිනාකම ඩොලර් බිලියන 2.7 කි. පසුගිය වසරේ ඩොලර් බිලියන 2.2 ක් ඇගලුම් යුරෝපා සංගමයේ රටවලට අපනයන කර තිබිණ. කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් තත්ත්වය පිරිහෙමින් පැවතීම පිළිබඳව "දැඩි කනස්සල්ල" පළ කරමින් ජුනි මස මැද භාගයේදී යුරෝපා පාර්ලිමේන්තුව මෙම සහනය ඉවත් කර ගැනීම ගැන සලකා බැලීමට යෝජනාවක් සම්මත කර ගත්තේ ය. යුරෝපා සංගමයේ නියෝජිතයින් 5 දෙනෙකු මේ දිනවල මෙරටට පැමිණ ඇත්තේ, එම තීරණය අනුව GSP+ සහනය තවදුරටත් ලබාදීම පිළිබඳව පසු විපරම් කිරීම සඳහායි. ඔවුන් ලබන වසරේදී යුරෝපා පාර්ලිමේන්තුවට මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් සම්පාදනය කරනු ඇති. මෙම පිරිස අද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා ඇතුළු පිරිසක් හමුවුණේ එම පක්ෂ මූලස්ථානයේදී ය. යුරෝපා සංගමයේ නියෝජිතයින් හමුවීමෙන් පසු මුස්ලිම් කොංග්‍රසයේ නායක, නීතිඥ රාවුෆ් හකීම් මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
''මේ දූත පිරිස අපෙන් විමසා සිටියේ හදිසි නීතිය සම්බන්ධයෙන් අපේ අදහස්, ඒ වගේම ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් විරුද්ධවාදීන් දඩයම් කිරීමේ ක්‍රියාදාමය වැනි චෝදනාව, පිළිබඳව අපේ අදහස් අපි පළ කර සිටියා. හිජාස් හිස්බුල්ලා වැනි මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු දිගටම අත්අඩංගුවේ තබා ගෙන සිටිම පිළිබඳව, ඒ වගේම තවත් කවියෙක් එතුමාට ඇප ලබා නොදි පිළිබඳව දිර්ඝ වශයෙන් අත්අඩංගුවේ තබා ගැනිම. කොවිඩ් මර්දන ව්‍යාපාරය යොදා ගනිමින් රජයට විරුද්ධ නොයෙකුත් විරෝධතා මර්දනයට යොදා ගන්නා ක්‍රියාමාර්ගත් පාස්කු ඉරිදා සිද්ධිය විමර්ශනය කිරිමේදීත් ඒවාට නඩු පැවරීම් වැනි කාර්යන් කිරීමේදිත් තමන්ට උවමනා පරිදි දේශපාලනය ගාව ගනිම්න් රජය ඇත්ත. යථාර්ථවාදි පියවර නොගැනීම පිළිබඳව අපි අපේ කනගාටුවත් විශේෂයෙන් ම මේ ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බවත් ඒ සමගම යම් යම් පැළැස්තර ඇලවීමේ ක්‍රියාමාර්ග හැටියට නොයෙකුත් ක්‍රියාදාම කරන්න මේ රජය දැන් ලැස්ති වෙනවා ඒවාට අපි විරුද්ධ වෙනවා කියන එකත් අපි ඉතා පැහැදිලිව කියා සිටියා''
මේ අතර යුරෝපා සංගමයේ නියෝජිතයින් අද පෙරවරුවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ද හමුවී සාකච්ඡා කර තිබේ. වර්තමානයේ අධිකරණ ක්ෂේත්‍රයේ නවීකරණ කටයුතු, ව්‍යවස්ථා සංශෝධනය ආදී කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහිදී කරුණු පැහැදිලි කර ඇත. අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ, ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය කෙරෙහි සෑහීමකට පත්වන බවත් ඉදිරියට ලබාදිය හැකි සියලු සහන සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලා කටයුතු කරන බවත් යුරෝපා සංගමයේ නියෝජිතයින් කියා සිටි බවයි.