ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

by Staff writer 28-09-2021 | 3:32 PM

COLOMBO (News 1st) - අධික වැසි හා සුළං තත්ත්වයන් හමුවේ ප්‍රදේශ රැසක ගස් කඩා වැටීම් වාර්තා විය.

ඒ අතර අද අලුයම මීගමුවෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු ද අතුරුදන්ව සිටී. අද අලුයම 3.00 ට පමණ මීගමුවෙන් ධීවරයින් පිරිසක් මුහුදු ගොස් තිබේ. ධීවරයින් පවසන්නේ, එහිදී ඇති වූ දැඩි සුළං තත්ත්වය හමුවේ බෝට්ටු කිහිපයක් පෙරළුණු බවයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 63 සහ 64 වැනි වියේ පසුවන මීගමුව, කුඩාපාඩුව හා වැල්ලවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මේ අතර මීගමුව ධීවර තොටුපොළේ නවතා තිබූ බෝට්ටු කිහිපයකට ගස් හා විදුලි කණු කඩා වැටීමෙන් හානි සිදුව තිබේ. අධික වැසි හා සුළං තත්ත්වය හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම පාලනය කිරීම සඳහා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 2 ක් අද උදෑසන විවෘත කෙරුණි. පොල්ගොල්ල, මහවැලිවේල්ල කාර්යභාර ඉංජිනේරුවරයා පැවසුවේ, වේල්ලෙන් පහළ මහවැලි ගඟ දෙපස ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි. මේ අතර අද උදෑසන 6.20ට පමණ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල, මාහේන ප්‍රදේශයේ ගසක් කඩා වැටී තිබේ. අප වාර්තාකරු පැවසුවේ, මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බවයි. අනතුරුව පැය එකහමාරකට පමණ පසුව මාර්ග සංවර්ධන අධිකාරිය හා ප්‍රදේශවාසීන් මැදිහත්ව ගස ඉවත් කෙරුණි. ඊයේ උදෑසන ඇති වූ දැඩි සුළඟත් සමග අනුරාධපුර, යකල්ල හරහා අලියාවැටුණුවැව දක්වා දිවෙන මාර්ගයේ පලුගොල්ලාගම ප්‍රදේශයේ ගසක් කඩා වැටී තිබේ. ඒ හේතුවෙන් මාර්ගයේ විදුලි රැහැන්වලට හානි සිදු විය. අප වාර්තාකරු පැවසුවේ, මේ පිළිබඳව ගම්වාසීන් ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය විදුලි කාර්යාලය දැනුවත් කළත් මේ දක්වා එම ප්‍රදේශයට විදුලිය ද ඇණහිට ඇති බවයි.