චීන කාබනික පොහොර දෙවන සාම්පලයේත් අහිතකර බැක්ටීරියා

චීනයෙන් ගෙන්වීමට නියමිත කාබනික පොහොර තොගයේ දෙවන සාම්පලයේත් අහිතකර බැක්ටීරියා

by Staff writer 28-09-2021 | 10:08 PM

COLOMBO (News 1st) – චීනයෙන් මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබූ කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇති බව දෙවන වරටත් සිදු කළ සාම්පල පරීක්ෂාවේ දී තහවුරු වී තිබේ.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පැවසුවේ, පසුගිය සිකුරාදා ලැබුණු සාම්පල ශාක නිරෝධායන සේවය යළි පරීක්ෂාවට ලක් කළ බවයි එම පරීක්ෂාවේ දී අදාළ කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා අඩංගු බව තහවුරු කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කියා සිටියේ ය. ඔහු පැවසුවේ , මේ අනුව අදාළ පොහොර තොගය මෙරටට පෙන්වීමෙන් වළකින ලෙස තමන් නිර්දේශ කරන බවය. මෙරටට කාබනික පොහොර සැපයීමේ ටෙන්ඩරය චීනයේ qingdao seawing biotech සමාගමට ලබාදීමට රජය පසුගියදා තීරණය කළේ ය. එම සමාගම විසින් මුහුදු ශාක යොදාගෙන නිපදවන කාබනික පොහොර මෙරටට ගෙන්වීමට සූදානම් කර තිබූ අතර ශාක නිරෝධායන සේවය සිදු කළ මුල් සාම්පල පරීක්ෂාවේදී අර්වීනියා නැමැති අහිතකර බැක්ටීරියාව ඇතැයි තහවුරු කළේ ය. නමුත් එම සාම්පලය මෙරටට පැමිණි ආකාරය පිළිබඳව ගැටලුවක් ඇතැයි විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ ය. ඒ අනුව යළිත් යළිත් චීන සමාගමෙන් කාබනික පොහොර සාම්පල ගෙන්වා සිදු කළ පරීක්ෂාවේදී එහි අහිතකර බැක්ටීරියා ඇතැයි නැවතත් තහවුරු වී තිබේ.