ආයෝජන ව්‍යාපෘති 24 සඳහා ඉඩම් දීමට කැබිනට් අනුමැතිය

ආයෝජන ව්‍යාපෘති 24 සඳහා ඉඩම් දීමට කැබිනට් අනුමැතිය..

by Staff writer 28-09-2021 | 3:28 PM

COLOMBO (News 1st) - ප්‍රාදේශීය කර්මාන්තපුර 10 කින් ආයෝජන ව්‍යාපෘති 24 සඳහා තොරාගත් ආයෝජකයින් වෙත ඉඩම් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ අනුව වසර 35 ක් සඳහා ආදාල ඉඩම් බදු පදනම මත ලබාදෙන බව කැබිනට් තීරණයේ සඳහන් වේ. මේ අතර තවත් කැබිනට් යෝජනා ගණනාවක් සඳහා අනුමැතිය ලබාදීමට ඊයේ (27) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. කුඩා හා මධ්‍ය පරිමාන වැව්වල ධාරීතාව ඉහළ නැංවීම සඳහා එවායේ ගොඩගැසි ඇති වැලි, පස් හා කාබනික ද්‍රව්‍ය පෞද්ගලික අංශයට ඉවත් කර ගැනීමට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මේ යටතේ රජයට වියදමක් නොමැතිව අදාල වැව් ප්‍රතිසංස්කරණයට අවස්ථාව හිමිවන බව මේ පිළිබඳව වාරිමාර්ග අමාත්‍යතුමා කැබිනට් මණ්ඩලයට යොමු කළ කැබිනට් පත්‍රිකාවකින් පෙන්වා දී තිබුණි. ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ වැව්වල තැම්පත්වී ඇති ද්‍රව්‍ය ඉවත් කිරීමට නියමිතයි. මේ යටතේ ඉවත් කරන ද්‍රව්‍ය මැටි කර්මාන්තය, වැලි නිස්සාරණය හා කාබනික පොහොර නිෂ්පාදනය හා මාර්ග සංවර්ධනය වැනි කටයුතු සඳහා ලබාදෙන බව ද කැබිනට් තීරණයේ සඳහන්. මේ අතර 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ  ඇති අන්තරායකර රැකියා ලයිස්තුව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව මෙතෙක් අන්තරායකර රැකියා ලෙස නම් කොට තිබු රැකියා 51 ට අමතරව ගෘහ සේවය, රූපලාවන්‍ය ආශිත රැකියා, පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපකරවලට අදාල රැකියා ඇතුළු රැකියා 20 ක් අලුතෙන් අදාල ලයිස්තුවට ඇතුළත් කිරීමට නියමිත වේ.