අපි වැව් ගැන දන්නෙ නැහැ....- නාගරික සංවර්ධන අධිකාරිය

by Staff Writer . 28-09-2021 | 10:58 PM

COLOMBO (NEWS1ST) :  නාගරික සංවර්ධන අධිකාරිය අද මාධ්‍ය හමුවක් කැඳවා පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරු ඉදිකිරීම පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කළේ ය.

එහි අධ්‍යක්ෂ ජනරාල් එන්. පී. කේ. රණවීර මහතා පැවසුවේ, පරාක්‍රමබාහු සමුද්‍රයේ නිර්මාණය කිරීමට සූදානම් වන්නේ, ඇවිදින මංතීරුවකට එහා ගිය වැව් බැම්ම තව දුරටත් ශක්තිමත් කර, වැව සහ අවට සුන්දර පරිසරය හැකි අකාරයේ නිර්මාණයක් බවයි.
''ඇවිදින මංතීරු අපි තෝරගත්තේ හැමවිටම මේ අත්හැර දමපු, මිනිස්සු පරිභෝජනයට ගන්නේ නැති කැලි කසල බැහිර කරන ස්ථාන තමයි අපි තෝරගෙන තියෙන්නේ. මේවා ආර්ථික වශයෙන් නිර්මාණය කරලා ඵල ප්‍රයෝජනයක් ගන්න තමයි මේ හදන්නේ, අපේ අයවැය තුළ සකස්කරපු ව්‍යාපෘති තියනවා. 150 ක් විතර. අපි ඇත්තටම පරාක්‍රමබාහු සමුද්‍රයේ හදන්නේ ඇවිදින මංතීරුවකට එහා ගිහිල්ලා මේ වැව් බැම්ම තව දුරටත් ශක්තිමත් කරලා වැව සහ අවට සුන්දර පරිසරය දකින්න පුළුවන් නිර්මාණයක් කරන්න. බලන්න ගිහිල්ලා තිස්සමහාරාම වැව. ඒ වැව දේශීය විදේශීය සංචාරකයෝ කොපමන ප්‍රමාණයක් එනවද උදේට ඒ ඉරත් එක්ක තියන දර්ශනය දකින්න. මේවා තමයි අපි හදන්න ඕනේ අපේ ඇහැට දකින්න. අපේ 1800 ක් විතර සේවකයෝ ඉන්නවා. අපි මේ සේවකයින්ට දිනපතා මාස් පතා පඩි ගෙවන ගමන්ම අපේ කාර්යභාරය කරන්නේ නැතුව ඉන්න කියල ද කියන්නේ. නැතිනම් අපි මේවට ක්‍රියාත්මක වීම ද කියලයි දැනගන්න ඕනේ''
ඉදි කිරීම මගින් රළපනාවට හානි වීම පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීහු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළහ. අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට මෙලෙස පිළිතුරු දුන්නේ ය.
''අපි දන්නේ නැහැ වැව් ගැන, නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරනවා වගේ වාරිමාර්ග දෙපාර්තුමේන්තුවටත් තියනවා නිපුන දැනුමක්, හැගීමක්, තමන්ගේ වැව ගැන. තමන්ගේ වැව ආරක්ෂා කිරීම තමයි ඔවුන්ගේ වැව ආරක්ෂා කිරීම. අපිට ඉන් එහාට කතා කරන්න දෙයක් නැහැ, වාරිමාර්ග දෙපාර්තුමේන්තුව කියනවනම් මේකෙන් හානි වෙනවා කියලා අපි මෙතනට යන්නේ නැහැ. මේ ඉල්ලීම එන්නේ අපෙන් නෙවෙයි. පොළොන්නරුවේ ජනතාවගේ ඉල්ලීමක්නේ අපි ක්‍රියාත්මක කරන්නේ''
මේ අතර පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද පස්වරුවේ ප්‍රතිචාර දැක්වීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී ප්‍රකාශ කෙරුණේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත්ත ද ගොවි සංවිධානවල කැමැත්ත මේ සඳහා ලබා දී නොමැති බවයි. තව ද එහි සභාපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමි ප්‍රකාශ කළේ, තිස්ස වැවට මහා පරාක්‍රම සමුද්‍රයට කිසිවිටෙකවත් සමාන නොකළ යුතු බවයි.
''වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගත්තා උනාට ගොවි සංවිධානවල කැමැත්ත ඉල්ලීම කිසිම අවස්ථාවක අරගෙන නෑ. බොහෝ අය දකිනවා පරාක්‍රම සමුද්‍රය තිස්ස වැව කියලා බේරේ වැව තියලා ග්‍රෙගරි වැව කියලා කුරුණෑගල නගරයේ මධ්‍ය තියෙන කුඩාවැව සමාන කරන්න යනවා. තිස්ස වැව මහා පරාක්‍රම සමුද්‍රයට කිසිවිටෙකවත් සමාන කරන්න එපා. තිස්ස වැලිවැව පැත්තෙන් අඩි පහක පමණ ප්‍රමාණයක් රළපනාව එක්ක වැව් බැම්ම මතට තිබෙන්නේ. පොළොන්නරුවෙ රළපනාව එක්ක බලනකොට සමුද්‍රයේ අඩි 52 විතර තිබෙනවා. කොහොමද තිස්ස වැවට සමාන කරන්නේ ?. නාගරික සංවර්ධන අධිකාරියේ සේවකයින් 1800 ක් විතර හිටියා කියලා , මේ අයගේ අරමුණ මම හිතන්නේ ඉතා වැරදි සහගත අරමුණක්, කාර්ය මණ්ඩලය සේවකයින්ගේ ස්ථාවරත්වය ගොඩ නගන්න මේ සුන්දර පරිසර තිබෙන සමුද්‍රයට හානියක් කරන්න එපා''
https://www.youtube.com/watch?v=ccL-kduqMSw