ධීවරයින්ට කාලගුණෙන් අවවාදාත්මක නිවේදනයක්....

මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදේ ධීවර කටයුතු එපා...! - කාලගුණ බලධාරීන්

by Sagarika Chathumali 27-09-2021 | 9:25 AM

COLOMBO (NEWS1ST) :  මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසත් දැනට මෙම ප්‍රදේශයේ ස්ථානගතව සිටින අය වෙතොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත ගමන් කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී සිටී.

ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර්. (2.0 - 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතින බවයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ත් ඇතැම් ස්ථානවලට තද වැසි ද ඇතිවිය හැකි බවත් කාලගුණ අනාවැකියේ සඳහන් ය. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වනු ඇති. කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා වැඩි විය හැකි බවයි. මේ අතර උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින 'ගුලාබ්' සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී මේ වනවිට ස්ථානගතව පවතින්නේ, දකුණු ඔඩිස්ස ආසන්න උතුරු ආන්ද්‍රා ප්‍රදේශයේ ය.