කොණ්ඩය සහ රැවුල කැපීමට නව තහනමක් ?

ඇෆ්ගන් වැසියන්ට කොණ්ඩය සහ රැවුල කැපීමට නව තහනමක්

by Chathurika Jayasundara 27-09-2021 | 11:32 AM

COLOMBO (News 1st) – ඇෆ්ගන් ජනතාවට විවිධ මෝස්තරවලට අනුව කොණ්ඩය සහ රැවුල කැපීම තලෙබාන් සංවිධානය විසින් තහනම් කර ඇතැයි BBC පුවත් සේවය වාර්තා කරයි.

මේ අනුව මෙම තහනමට ලක්ව ඇත්තේ , ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් (Helmand) ප්‍රාන්තයේ ජනතාව යි. BBC පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ , ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණය උල්ලංඝණය කරන බව පවසමින් මෙම පනවා ඇති බවයි. මෙම නීතිය උල්ලංඝණය කරන ඕනෑම පුද්ගලයෙකුට දඬුවම් ලබාදෙන බව තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර කාබුල් අගනුවර ඇතැම් කරණවෑමියන්ට මේ සඳහා එවැනි නියෝග ලැබුණු බවත් සඳහන් වේ. රූපලාවණ්‍යාගාර දැන්වීමක් මගින් තලේබාන් නිලධාරීන් , කොණ්ඩය සහ රැවුල කැපීම සඳහා ෂරියා නීතිය අනුගමනය කළ යුතු බවට අනතුරු අඟවා තිබූ බවත් BBC පුවත් සේවය වාර්තා කර තිබේ. "අමෙරිකානු විලාසිතා අනුගමනය කිරීම නවත්වන ලෙසත්, කිසිවෙකුගේ රැවුල කපන්න එපා " යනුවෙන් රජයේ නිලධාරියෙකු යැයි කියා යම් පුද්ගලයෙකුගෙන් කරණවෑමියෙකුට ඇමතුමක් ලැබුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බලය අල්ලා ගත් දා සිට තල‍ෙබාන් සංවිධානය සිය නීතිවලට විරුද්ධ වන්නන්ට දැඩි දඬුවම් ලබාදෙමින් සිටී. පසුගියදා සටන්කරුවන් විසින් පැහැරගැනීම් සිදු කළ බව කියන පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කර , එම සිරුරු මාර්ගවල එල්ලා තැබීමට ද කටයුතු කර තිබුණි.