අසාද් සාලිට ඇප ඉල්ලා ගොනු කළ මෝසම ඉවත් කර ගනී

අසාද් සාලිට ඇප ඉල්ලා ගොනු කළ මෝසම ඉවත් කර ගනී

by Staff Writer . 27-09-2021 | 7:29 PM

COLOMBO (NEWS1ST) :  හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මෝසම ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් පසුගිය දා ඉවත් කරගනු ලැබිණ.

එම මෝසම කැඳවූයේ, කොළඹ අංක - 05 මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේයි. අසාද් සාලි මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අධිචෝදනා පත්‍රයට අදාළ නඩුව කැඳවීමට නියමිතව ඇත්තේ කොළඹ අංක - 02 මහාධිකරණයේයි. ඒ බව සඳහන් කරමින් මංජුල තිලකරත්න මහතා පැවසුවේ, වෙනත් මහාධිකරණයෙක් හමුවේ පවතින නඩුවක් සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට තම අධිකරණයට බලයක් නොමැති බවයි. මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඇප මත මුදා හැරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පසුගිය 14 වැනිදා ප්‍රතික්ෂේප කළේ ය. මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට අසාද් සාලි මහතාගේ කිසිදු සබඳතාවක් නොමැති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් අධිකරණයට වාර්තා කර ඇති බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා එම ඇප ඉල්ලීම සිදු කළේ ය. සැකකාර අසාද් සාලි මහතා ජනමාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීතිපතිවරයා මේ වනවිටත් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරා ඇති බැවින් ඔහු ඇප මත මුදා හැරිමේ නීතිමය බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය. සැකකාර අසාද් සාලි මහතා විසින් පසුගිය මාර්තු 09 වැනිදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් විකාශය කළ සංස්කරණය කරන ලද ප්‍රවෘත්ති මෙන්ම සංස්කරණය නොකරන ලද දර්ශන හා හඬපට නැරඹු තම අධිකරණයට අවබෝධ වුයේ සියලු රට වැසියන් ජාති, ආගම් භේද නොතකා කටයුතු කළයුතු බව පවසා ඇතැයි, යන්න මිස ජාතීන් අතර අසමගිය ඇති කරන ප්‍රකාශයක් නොවන බව ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා එදින ප්‍රකාශ කළේ ය. ජනමාධ්‍ය විසින් සැකකරු කරන ලද ප්‍රකාශයේ කොටසක් පමණක් විකාශය කිරීමෙන් සමාජය තුළ යම් අසමගියක් ඇති වුයේ නම්, ජනමාධ්‍ය ඊට වගකිය යුතු වන්නේ යැයි ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී කියා සිටියේ ය.