පක්ෂෙ බණ්ඩාරනායක නම විකුණාගෙන කෑවා මිස කිසි දෙයක් සංවිධානය කළේ නැහැ - හිටපු ජනපතිනිය

by Staff Writer . 26-09-2021 | 7:52 PM

COLOMBO (NEWS1ST) :  සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය එක්සේසත් කළ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ 62 වැනි ගුණ සමරුව අද (26) හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පැවැත්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හා මෙරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායක මහතාට ගෞරව දැක්වීමට මුලින්ම පැමිණියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා බණ්ඩාරනායක පවුලේ සාමාජිකයින් ය. 62 වන ගුණ සමරුව වෙනුවෙන් පක්ෂයෙන් සංවිධානය නොකරන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිනියගෙන් විමසා සිටියේ ය. ඊට පිළිතුරු දෙමින් එතුමිය ප්‍රකාශ කළේ, පක්ෂය කිසි දිනක සංවිධානය නොකළ බවත් පක්ෂය බණ්ඩාරනායක නම විකුණාගෙන කෑවා මිස කිසි දෙයක් සංවිධානය නොකළ බවත් ය.
''පක්ෂයෙන් කවදාවත් සංවිධානය කළේ නැහැ ඒවා කළේ, බණ්ඩාරනායක පවුලෙන් පක්ෂේ බණ්ඩාරනායක නම විකුණාගෙන කෑවා මිසක් කිසි දෙයක් සංවිධානය කළේ, නැහැ . මෙතන. ඔක්කොම කළේ අපි. මැතිණිය ඒවා කරන්නත් ඉඩ සලස්වලා දිලා ගියේ. ඒවා කරනවා. පක්ෂයේ සභාපති ජනාධිපතිවෙලා හිටියා නේ අවුරුදු 5 ක් මෙතනට ආවේ එක සැරයයි''
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණියේ ය. බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වූ හිටපු ජනාධිපතිවරයා මාධ්‍යට අදහස් දක්වමින් පැවුසවේ, බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශනය තුළ එතුමාගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීම බණ්ඩාරනායක මැතිතුමාට කරන ලොකුම ගෞරවය බවයි.
''ඒ නිසා එතුමා ගෙන ගිය දර්ශනය සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම තමයි අපි රට වෙනුවෙන් රටේ අනාගතය ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට කටයුතු කරන්නේ''
නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෝ ද පසුව බණ්ඩාරයක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණ සිටියහ. නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමාර වෙල්ගම මහතා පිළිරුවට පුෂ්පෝපහාර දැන්වීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වී ය. වෙල්ගම මහතා සඳහන් කළේ, බණ්ඩාරනායක මහතා පංචමහා බලවේගය සමග නැගී සිටිය ද වත්මන් ආණඩුව නැගී සිටින්නේ, පංචමහා බලවේගය සමග නොව ඔවුන්ගේ ගජ මිතුරු කල්ලිය සමග බවයි.
''රටේ ඔක්කෝම දන්නවා අද හතර පස්දෙනෙක් එක්කහුවලා තමයි මේ රටේ සම්පුර්ණ ව්‍යාපාරික කටයුතු කරලා අයුතු ලෙස මේ රටේ මුදල් ගසා කන්නේ ඒ හින්දා මේ රජය කරන්නේ මහජනතාවට නෙවෙයි ඒ ගොල්ලන්ගේ බඩ වඩාගන්න''